‘මැතිවරණ කොමිසම පහසුවක්’- මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් තමා තුළ විරෝධයක් නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

අද උදෑසන මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි මැතිවරණ කොමසාරිස්වරයා එම අදහස් පළ කළේ.

මැතිවරණ කොමිසමක් පිහිටුවිය හැකි නම් එමගින් තම රාජකාරිය පහසු වන බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වඩාත් සාධාරණ මැතිවරණයක් සඳහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් පිහිටුවන ලෙස විපක්ෂය දිගින් දිගටම කරන ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමිනුයි ඔහු එම අදහස් පළ කළේ.

" සාමාජිකයකයන් එක් අයකුට වඩා වැඩි කොමිසමක් නම් වඩාත් හොඳයි. මැතිවරණ කොමිසමක් ඇත්නම් සමහර කරුණු වලට තනිවම මුහුණ දෙන්න වෙන්නේ නැහැ.”මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.

අපේක්‍ෂක වියදම් සීමාවක්

පසුගිය දා පැවැත්වුන ඡන්ද විමසීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා හැටියට තමන්ට ඇති බලතල අනුව නිතිය තදින් ක්‍රියාත්මක කළ බව පවසන මහින්ද දේශප්‍රිය, තමා හැමවිටම උත්සාහ කළේ ඡන්ද දායකයන්ට හා අපේක්ෂකයන්ට පහසු ආකාරයට කටයුතු කිරීමට බවත් පෙන්වා දුන්නේය.

" නීතිය ක්‍රියාත්මක කළේ අපේක්ෂකයන් සමඟ ඇති ද්වේශයකින් නොවෙයි. පොලිසිය හරහා අපි කටයුතු කළේ එක සිද්ධියකදී පමණයි. ඒ මාතර සිද්ධිය. අනිත් සිදු වීම් ගැන අපි පොලිසියට බලපෑම් කරන්න ගියේ නැහැ" මැතිවරණ කොමසාරිස් පැවසීය .

ඉහත කී මාධ්‍ය හමුවේ දී හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පසුගිය පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳවත් අවධානය යොමු විය.

මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ යම් පුද්ගලයෙකු නිසි ආකාරයට ඡන්ද දායකයකු හැටියට ලියා පදිංචි වී ඇත්නම් හා ඒ සම්බන්ධයෙන් විරෝධය පළ නො වූයේ නම් ඔහුට ඡන්දය පාවිච්චි කළ හැකි බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර