ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පුත්තලම කලපුවේ විදුලි රැහැන් ඇදීමට විරෝධය

නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයේ සිට පුත්තලම කළපුව හරහා විදුලි බ‍ල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන විදුලි යෝජනා ක්‍රමය හේතුවෙන් පුත්තලමේ සිටින පන්දහසකට ආසන්න පිරිසකට සිය ජීවිකාව දුෂ්කර වී ඇති බව ධීවරයෝ පවසති.

ධීවරයන් ඒ බව කියා සිටියේ, එම යෝජනා ක්‍රමයට විරෝධය පළ කරමින් පුත්තලමේ පැවති උද්ඝෝෂණයකදී. මෙම විදුලි යෝජනා ක්‍රමය හේතුවෙන් දැල් පැටලීම, බෝට්ටු අනතුරට පත්වීම වැනි අනතුරුවලට මුහුණ දීමට සිදු විය හැකි බවයි, උද්ඝෝෂකයන් ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්නට කියා සිටියේ.

දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ. මුස්ලිම් ආගමික වතාවත්වලින් පසුව පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ සිට පැමිණි විරෝධතාකරුවෝ ද පුත්තලම නගරයේ සිට සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදුනහ.

පුත්තලමට නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරයෙන් සෙතක් සැලසී නොමැති බව උද්ඝෝෂණය සංවිධානය කල පුත්තලමේ ධීවර සංවිධාන නායකයෝ ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සමඟ කියා සිටියහ.

කෙසේ නමුත් ධීවරයාට සිදුවන බලපෑම් අවම කරගනිමින් ඔවුන්ගේ හඬටද කන් දෙමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.

කළපුව තුළ විදුලි කණු සිටුවා එහි උඩින් විදුලි රැහැන් අදින බවයි, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සාමාන්‍යධිකාරී සෙනජිත් දසනායක කියා සිටියේ.

මේ තත්වය කිසිසේත්ම ධීවර ජනතාවට බල නොපාන බවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේය.