මාර්ග නීති ක්‍රියාත්මක නොවූ ඒ අපූරු රාත්‍රිය

Image copyright AP

වසර හතක කාලයක් තුළ ලෝක කුසලාන හතරක අවසාන මහා තරඟ සඳහා සුදුසුකම් ලැබුවද, ඒ සියල්ල පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ඉරිදා පැවති 2014 විස්සයි විස්ස අවසන් මහා තරඟය ජය ගැනීමත් සමග මුළු ශ්‍රී ලංකාවම එම ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිනු දක්නට ලැබුණි.

මාධ්‍යවේදියෙකු හැටියට මින් පෙර අවසන් මහා තරඟ තුනක් ම ආවරණය කළ නමුත්, එම සෑම තරඟයකදීම මට සිදු වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් එදා ලද පරාජයේ වේදනාව වාර්තා කිරීමටයි.

එහෙත් 2014 විස්සයි විස්ස ලෝක ශූරතාවය දිනා ගැනීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් ඒ සතුට ඉතා නිහතමානීව සහ සාඩම්බරව සමරන ලද ආකාරය මෙවර වාර්තා කිරීමට මට අවස්ථාව උදා වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් ජයග්‍රහණයේ අභියෝගය සාර්ථකව මුදුන් පත් කර ගත් ඉරිදා රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පිටිය,ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය ආදී ස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරි තිබුණ ආකාරයයි,මට දැක ගත හැකි වුණේ.

ජාති ආගම් හෝ දුප්පත් පොහොසත් සියලු භේද ඉවත ලා ශ්‍රී ලාංකිකයන් ලෙස ඔවුන් එකට අත්වැල් බැඳ ගනිමින් ජයග්‍රහණයේ සතුට භුක්ති විඳිමින් සිටියේ සංගීතය ද මුසුවයි.

Image copyright AFP

මාලිංග ගේ නායකත්වය

"අපි දිනුවා., අපේ කොල්ලෝ අවුරුදු දහඅටකට පස්සේ ලෝක කුසලානයක් ගෙනාවා. අපට අපේ සතුට කියල නිම කරන්න බැහැ" ක්‍රීඩාලෝලියෝ ප්‍රීති වෙමින් සිටින අතරවාරයේ මා සමඟ කීහ.

"1996 න් පස්සේ අපි සතුටු වෙන දවස අද. ලසිත් මාලිංග ගේ නායකත්වයේ අගය කියල නිම කරන්න බැහැ. අපට බොහොම ආඩම්බරයි” තවත් ක්‍රීඩාලෝලියෙක් පැවසීය.

ඊට අමතරව දක්නට ලැබුණ තවත් විශේෂත්වයක් වුණේ, ජයග‍්‍රහණයෙන් අනතුරුව ජාතික කොඩිය රැගෙන රාත‍්‍රිය පුරා කොළඹ නගරයේ වීදි පුරා සංචාරය කළ ක්‍රීඩාලෝලීන්ට රථ වාහන නීතිය බල නො පැවැත්වීමයි.

පොලිස් නිලධාරීන් බාධාවකින් තොරව ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ට ඔවුන්ගේ සතුට විඳ ගැනීමට ඉඩ දෙමින් බලා සිටින ආකාරයයි දක්නට ලැබුණේ.

Image copyright AP

මෙම ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ වලින් විශ්‍රාම ගන්නා මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර මුල් පෙළේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා සම්බන්ධයෙන් ද ක්‍රීඩාලෝලීහු ඔවුන්ගේ අදහස් පළ කළහ.

සංගා සහ මහේල

"ඒ දෙන්නටම ඉදිරියටත් ක්‍රීඩා කරන්න පුළුවන්, ඔවුන්ට විශ්‍රාම යන්න දෙන්න එපා"

"අපේ වීරයන් දෙදෙනා ලෝක කුසලානය අපට දිනල දීලයි යන්නේ.අර්ජුන සහ අරවින්දට පස්සේ බිහි වුණ විශිෂ්ටතම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙපළ මහේල සහ සංගා" ක්‍රීඩාලෝලීහු ප්‍රකාශ කළහ.

කොළඹ පමණක් නොව මුළු දිවයින පුරා ක්‍රිකට් ක‍්‍රීඩාලෝලීන් වීදි බසිමින් ක්‍රීඩා ජයග‍්‍රහණය සැමරූ බවයි,බීබීසී සංදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මා සමඟ කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර