ක්‍රිකට් කණ්ඩායමට පාර්ලිමේන්තුවේ උපහාර

Image copyright Getty

විස්සයි විස්ස ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද පාර්ලිමේන්තුවේ දී උපහාර පුද කිරීම සඳහා ශුභාශිංසන විවාදයක් පැවැත්විණ.

ගැලරියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විවාදය දැක ගන්නට ලැබිණි.

කණ්ඩායමේ ජයග්‍රහණයෙන් සමස්ත ශ්‍රී ලංකාවට ම උගත යුතු පාඩම් තිබෙන බවයි, විවාදය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ.

සාමුහිකත්වය

රටකටත් ජයග්‍රහණ අත්පත් කර ගත හැකි වන්නේ තනි තනි සංකල්ප මත හෝ පුද්ගලයන් මත නොව සාමුහිකත්වය මත යයි ඔහු කියා සිටියේය.

සෑම කෙනෙකුම සතුව විවිධ හැකියාවන් ඇති බවත් එම හැකියාවන් එක තැනකට ගොනු කොට මෙහෙයවීමෙන් පමණක් රටකට ජයග්‍රහණ අත් කර ගත හැකි බවත් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔප්පු කොට ඇති සත්‍යය එය බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ.

කණ්ඩායමට සුබ පතන අතරම ජයග්‍රහණය වෙනුවෙන් මඟ පෙන්වූ අනෙක් කොටස්ද අමතක කල යුතු නැති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

“අපට මතකයි පසු ගිය ලෝක කුශලානයේ අපි අවසාන මොහොතේ ගත් යම් යම් තේරීම් නිසා අපට යම් යම් අඩු පාඩු සිදු වුණා. හැබැයි මේ අවස්ථාවේදී තේරීම් කමිටුව මේ වැඩපිළිවෙළේ දී ලබා දීපු නායකත්වයක් මේ ජයග්‍රහණයට පිටුබලයක් වුනා කියන එක මතක් කරන්න ඕනැ,” ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේය.

ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණය, පුහුණු කරුවන්, ක්‍රිකට් පාලක මණ්ඩලය ආදී සියලු දෙනා ලැබූ සාමූහික ජයග්‍රහණයක් ලෙසත් සිහිපත් කළ යුතු බවයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තවදුරටත් ප්‍රකාශ කළේ.

Image caption දිනේෂ් චන්දිමාල්

බංග්ලාදේශය බලා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කණ්ඩායමේ නායකත්වය හෙබවූ දිනේෂ් චන්දිමාල් කණ්ඩායම ලෝක ශූරතාවය දිනා ගන්නා අවස්ථාවේ හිටපු නායකයා බවට පත් ව සිටියේය.

ඒ තරඟ තහනමකින් අනනතුරුව ලසිත් මාලිංගට සහ ලහිරු තිරිමාන්නට අවස්ථාව දෙමින් ඔහු අවසාන තරඟ දෙකෙන් ඉවත්වීම නිසායි.

කණ්ඩායමේ ස්ථාවරත්වය

කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ලහිරු තිරිමාන්නට අවස්ථාව ලබා දී, දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් ඉවත්වීම එක් දහස් නවසිය අනූ හයේ ලෝක ශූරතාව දිනූ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග දැඩි පැසසුමට ලක් කළේය.

“කණ්ඩායම වෙනුවෙන් තමන්ගේ ස්ථානය පුද කරලා කණ්ඩායමේ ස්ථාවරත්වය හදල දෙන්න ඒ ගත්ත තීරණය මම හිතනවා අද ක්‍රීඩා කරන අයට විතරක් නොවෙයි මේ රටේ ඉදිරියට එන්න ඉන්න දරුවන්ට ලොකුම ආදර්ශයක් කියල ”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපහාරය පුද කරමින් පාර්ලිමේන්තුවේ දෙපාර්ශවයම කරන ලද ඇගයීමේ ප්‍රකාශ අනුමත කරමින් තමන්ද ඒ හා සමඟ එක්වීමට කැමැත්ත පල කරන බව කතානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතා කියා සිටියේය

සුබාශිංසන විවාදයෙන් අනතුරුව ලෝක ශූර කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී පිළිගැනීමේ සාදයකට ද සහභාගී වූහ.