උතුරේ කාන්තා රැඳවියන්ට වෛද්‍ය පහසුකම් නැහැ

Image caption වෙනත් පිරිසක් විසින් සිදු කරන ලද වැරදි වෙනුවෙන් තමන් දුක් විදින බවයි ඔවුන් පවසන්නේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටින උතුරේ කාන්තාවන් හත්දෙනෙකු පමණ නිසි වෛද්‍ය පහසුකම් නොමැතිව රැදවුම් මධ්‍යස්ථාන වල කල් ගෙවන බව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාකාරී ජාලය නැමති සංවිධානය පෙන්වා දෙයි.

යාපනයේ පදිංචි සෙල්වනායගම් රාසමලර් නැමති කාන්තාව නීතිඥවරියට පවසා ඇත්තේ තමන් යුද සමයේදී කාලතුවක්කු ප්‍රහාරයකට ලක්වී උණ්ඩ කැබැල්ලක් සිරුරේ අක්මාව අසල ඇති බැවින් එය ඉවත් කිරීමට ශල්‍ය කර්මයකට යාමට සුදනමින් සිටියදී පොලිස් අත් අඩංගුවට පත් වු බැවින් තමන්ට රෝහල් ගතවීමට අවස්ථාවක් උදා නොවුණු බවයි.

'දරු ගැබත් විනාශ වුණා'

මෙම කාන්තාවන් හමුවීමට ගිය නීතිඥවරියක වන එම්.මංගලේෂ්වරීට ත්‍රිකුණාමළයේදී අත් අඩංගුවට පත්වූ කාන්තාවක් ප්‍රකාශ කොට ඇත්තේ තුන් මස් ගැබිනි කතක් ව සිටියදී තමන්ව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එක දිගටම බුස්ස දක්වා දුම් රියෙන් රැගෙන ඒම හේතුවෙන් තමාගේ දරු ගැබ විනාශ වූ බවයි.

මේ තත්වය නිසා තම සිරුරේ වේදනාව වරින් වර වැඩිවන නමුත් ඊට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවද ඇය නීතිඥවරියට පවසා තිබේ.

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් රඳවාගෙන සිටින කාන්තාවන් සියලුම දෙනා පවසා ඇත්තේ තමන් කිසිදු වරදක් කොට නැති අතර වෙනත් පිරිසක් විසින් සිදු කරන ලද වැරදි වෙනුවෙන් තමන් දුක් විදින බවයි.

එම වැරදි කරන ලද පිරිස කවුරුන්දැයි අත් අඩංගුවේ පසුවන පිරිස නොදැන සිටියදී පොලීසිය මේ කාන්තාවන් රඳවාගෙන සිටීම දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද ඔවුන් නීතිඥවරියට පවසා තිබේ.

'නිර්දෝෂී නම් ඔප්පු කරන්න'

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් මේ පිලිබදව විමසන ලද අවස්ථාවේදී ඔහු කියා සිටියේ දැනට අත් අඩංගුවට ගෙන සිටින කාන්තවන් හත්දෙනාම රදවා සිටින්නේ රජය පිළිගත් සහ නීත්‍යනුකුල ස්ථාන වල බැවින් ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ඇතුලු සියලුම පහසුකම් ලබාදීමට නිලධාරීන් ක්‍රියාකොට ඇති බවයි.

කවර හේතුවක් මතවත් කිසිදු කාන්තාවක් ගබ්සා වී නොමැති බව කියා සිටි පොලිස් ප්‍රකාශක වරයා පවුලේ ඕනෑම අයෙකුට හෝ ඒ සදහා සුදුසුකම් ඇති අයෙකුට එම කාන්තාවන් බැලීමට කිසිදු අවහිරයක් නොමැති බවද පැවසීය.

මේ කාන්තාවන් වරදක් කොට නොමැතිනම් ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කරණු ලබන අවස්ථාවේදී තමන්ගේ නිර්දෝෂි භාවයට හේතු ඉදිරිපත් කොට නිදහස ලැබිය හැකි බවද හෙතෙම කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර