'ආණ්ඩුවේ අනුග්‍රහය ප්‍රකට කෙරෙනවා' - ජවිපෙ

Image caption මෙම හැසිරීම වැරදි පුර්වාදර්ශයක් බව නිවේදනය මගින් අවධාරණය කර තිබේ

ජාතික බල සේනා සහ බොදු බල සේනා යන සංවිධාන දෙක අතර බදාදා කොළඹදී ඇති වූ ආරාවුල සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිලිබඳ ව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ගැටලුකාරී තත්වයක් උද්ගතකරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් අප්‍රියෙල් 10 වෙනිදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම නිවේදනය නිකුත් කිරීමට හේතු වී ඇත්තේ අලුතින් බිහි වුන ජාතික බල සේනා සංවිධානය විසින් ‘නිපොන්’ හෝටලයේ කැඳවනු ලැබ තිබුණ මාධ්‍ය හමුවකට බොදු බල සේනා සංවිධානය කඩා වැදීමේ සිදුවීමයි.

"පොලිස් නිලධාරීන් ද ඉදිරිපිට මෙබඳු බලහත්කාරී හැසිරීමක් ප්‍රදර්ශනය කරන්නට යම් සංවිධානයකට හැකිවීම තුළින් නොසඟවා ප්‍රකට කෙරෙන්නේ ඊට ලැබෙන ආණ්ඩුවේ අනුග්‍රහය මිස වෙනකක් නොවේ" යනුවෙන් මෙම නිවේදනය මගින් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට ආණ්ඩුව වගකිව යුතු බවට චෝදනාකර තිබේ.

මුස්ලිම් නියෝජිතයන් කීප දෙනකුත් සහභාගී වෙමින් සිටි මාධ්‍ය හමුව පෙරට යමින් තිබියදී එම ස්ථානයට ලඟා වූ බොදු බල සේනා කණ්ඩායමක් පොලීස් නිලධාරීන් ඉදිරිපිටදීම ජාතික බල සේනා නියෝජිතයන්ට බාධා කිරීම වැරදි පුර්වාදර්ශයක් බව නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

“සෑම සංවිධානයක් විසින්ම මේ අකාරයෙන් හැසිරීමට ගියහොත් රටේ ඇතිවන තත්වය අමුතුවෙන් පෙන්වා දියයුතු නොවේ. දශක තුනකට වැඩි යුදමය වාතාවරණයකට පසුව ජාතික සමගිය පිලිබඳ කතිකාවතක් ඉස්මතු කළයුතු මොහොතක ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතිකත්වයන් හා ආගම් අනුව තව තවත් එකිනෙකා ගෙන් ඈත් කරවන මෙබඳු හැසිරීම් දැඩිව හෙළා දකිමු.” යනුවෙන් වැඩිදුරටත් එහි සඳහන් වේ.

එජාප විරෝධය

ඉතිහාසයේ සිටම මුස්ලිම් හා සිංහල ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වන බව කවුරුත් සහතික කරන බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් ප්‍රකාශ කළේ.

වත්මන් රජය අනුගමනය කරන අදූරදර්ශී ප්‍රතිපත්තිය තුල එම සංහිඳියාව ක්‍රම ක්‍රමයෙන් නැතිවී යන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂය රට පාලනය කළ සෑම අවස්ථාවක දීම ජාතික සමගිය, ජාතික හැඟීම සහ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර සංහිඳියාව තහවුරු වූ බවයි කබීර් හසීම් මන්ත්‍රීවරයා පැවසුවේ.

අද රටේ එම සංහිඳියාව නැතිවී යන බවත් එම තත්වයට වගකිවයුත්තේ වත්මන් රජය බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් බලා සිටියදී මෙවැනි සිද්ධියක් ඇතිවීමත් එය නොසලකා හැර ඒ පිළිබඳව රජය විසින් සොයා නොබැලීමත් රටේ නීතිය කඩා වැටීමක් බවයි ඔහු පැවසුවේ.

“මේ රට ලේ විලක් කිරීමට යම් යම් සිද්ධීන් ඇති කරගෙන යන වැඩ පිළිවෙළට ආණ්ඩුවත් අනුමතිය දීල තියෙන්නේ. මේ නිසා මේකේ සම්පූර්ණ වගකීම මේ රජය බාර ගත යුතුයි” පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් තවදුරටත් ප්‍රකාශ කළේය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර