‘ජනතාව දැනුවත් කිරීමේ වරදට ලද තෑග්ග’

Image copyright Lankaherald.com
Image caption සමන් වගආරච්චි

ලක්බිම දිනපතා පුවත්පතේ පළ කෙරුණ ඡායාරූපයකට යොදා තිබූ හාස්‍යජනක සිරස්තලය සම්බන්ධයෙන් සිත් තැවුලකට පත් පාර්ශ්ව වලින් පුවත්පත දෙවරක් සමාව ඉල්ලා තිබිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කැඳවා ප්‍රශ්න කරනු ලැබීම ජනමාධ්‍ය නිදහස සඳහා තමා ගෙන යන අරගලය නිසා සිදු වූ දෙයකැයි විශ්වාස කරන බව එම පුවත්පතේ කතෘවරයා වන සමන් වගආරච්චි පවසයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ, අයෝමා රාජපක්ෂ අවුරුදු පොළකදී භාණ්ඩ මිලදී ගන්නා ඡායාරූපයකට "හොර සල්ලි නෙමෙයිනේ” යන උප සිරස්තලය තම පුවත්පතේ පළ කළේ මේ දිනවල විශාල ලෙස සමාජය තුල සැරිසරන ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වන බවයි ලක්බිම කතුවරයා පවසන්නේ.

"පුවත්පත් සම්ප්‍රදායක් තියෙනවා - සිරස්තලයක් යෙදීමේ දී එය පාඨකයන් ගේ සිත් ඇද ගන්නා ලෙස අවධානය දිනා ගන්න ලෙස යෙදීමේ. ඉතින් මගේ උප කතුවරයාත් අදහස් කරලා තියෙනවා- මේ දිනවල සමාජයේ විශාල ලෙස ව්‍යාජ මුදල් සැරිසරන නිසා මෙවැනි මුදල් ගනුදෙනුවල දී අවධානයෙන් සිටින ලෙස ජනතාවට පණිවිඩයක් දීමට” සමන් වග ආරච්චි කියා සිටියි.

පැමිණිලිකරු රහසක්

Image copyright Lakbima
Image caption අදාළ පුවත්පත් ඡායාරූපය

එම සිරස්තලය මගින් වැරදි අදහසක් මතු වී අයෝමා රාජපක්ෂට යම් සිත් තැවුලක් ඇති වී නම් තම පුවත්පත ඒ සම්බන්ධයෙන් ඇයගෙන් දෙ වරක්ම සමාව ඉල්ලා සිටි බව පවසන ලක්බිම කතුවරයා, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තමාගෙන් ප්‍රශ්න කිරීමේ දී පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්දැයි හෙළි නො කළ බවයි පවසන්නේ.

" මේවා හොර සල්ලිද, කොහෙන්ද මේක ආවේ, කවුද මේක දැම්මේ කියල මගෙන් ප්‍රශ්න කළා. මම ඇහුව - මොන නිතිය යටතේද මගෙන් ප්‍රශ්න කරන්නේ? කවුද පැමිණිල්ල කළේ ? කියලා. එවිට කිව්වේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කියලයි. හේතුව මේක හොර සල්ලි සම්බන්ධයෙන් කතා වෙන හින්ද කියල කිව්වා"සමන් වග ආරච්චි පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිබඳව ලක්බිම පුවත්පතේ හිටපු මාධ්‍යවේදියෙකු ලියු ‘කුරහන් සාටකය’ යන පොතේ පවා වැරදි අර්ථයක් හැඟවෙන සිරස්තලයක් තිබුණ අවස්ථාවේදී ජනාධිපතිවරයා එය සිනහවෙන් බාර ගත් බව පවසන සමන් වගආරච්චි අයෝමා රාජපක්ෂ සිද්ධිය පිළිබඳව මෙලෙස තමා ප්‍රශ්න කරනු ලැබීම මාධ්‍ය සංවිධාන සමග එක් ව තොරතුරු දැන ගැනීමේ අයිතිය සඳහා තමා ගෙන යන අරගලය නිසා සිදු වූ එකක් යයි විශ්වාස කරන බවයි කියා සිටින්නේ.

ජනපති පිළිවෙත

පුවත්පත් කතුවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ කාර්යාලයට ගොස් එම පරීක්ෂණ පවත්වන මෙන් ජනාධිපතිවරයා මින් පෙර පවසා තිබිය දී කතුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සහ මෙම පැමිණිල්ල කළ පුද්ගලයන් හෙලි නොකිරීම ගැන වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විරෝධය පළ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහනගෙන් සංදේශය කළ විමසීමේදී ඔහු සඳහන් කළේ අදාළ කාරණය සම්බන්ධයෙන් ලැබුණු ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිසිය ක්‍රියා කල බවයි. පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්දැයි ප්‍රකාශ කළ නො හැකි බවත් ඔහු පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර