ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'හෙදියන්ට සූතිකාගාර පුහුණුව එපා'

හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් තමන් දියත් කළ වැඩ වර්ජනයට දින එකොළහක් ගතවී තිබියදීත් සිය ඉල්ලීම් පිළිබඳව මුනිවත රකින බවට පවුල් සෞඛ්‍ය සේවිකාවෝ බලධාරීන්ට චෝදනා කරති.

මුන්නේස්වරම් බද්‍ර කාලි අම්මාන් කෝවිලට පැමිණි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ දේව කන්නලව්වකට සහභාගි වී, ඉන් අනතුරුව පොල් ගසා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තම වෟත්තීයට සාධාරණයක් ඉටු කර දෙන ලෙසයි.

මේ වන විට ශ්‍රී ලංකාව මාතෳ සහ ළදරු මරණ අනුපාතය ඉතා පහල බව පෙන්වා දෙන ඔවුහු තමන් වසර ගණනාවක සිට රැකගෙන පැමිණ ඇති මේ තත්වය ඉදිරියටත් රැකගත යුතු බව අවධාරණය කරති.

සිය වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දරුවන්ට එන්නත් ලබා දීම ඇනහිට තිබෙන බවද මුන්නේස්වරම කෝවිලට පැමිණි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ කියා සිටියහ.

වයඹ පළාතේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් මුන්නේස්වරමට පැමිණ සිටි බව එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

මේ අතර පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබාදීම වහාම ආරම්භ කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සමස්ත හෙද කාර්යාල මණ්ඩලයට සූතිකාගාර පුහුණුව ලබාදීමට විරෝධය පළ කරමින් පවුල් සෞඛ්‍ය සේවිකාවෝ පිරිසක් මාතර-කොටුවේගොඩ සනත් ජයසූරිය ක‍්‍රීඩාංගණය ඉදිරිපිට දී ද විරෝධතාවක නිරතව සිටියහ.