කල්පිටිය කොරල් පරය සංරක්ෂණය ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම කොරල් පරය වන කල්පිටිය කොරල් පරය සංරක්ෂණය කිරීම සදහා මුලික පියවර ආරම්භ වෙයි.

මේ කොරල් පරය කිලෝමීටර් තුන්සිය හයක් පුරා පැතිර පවතින අතර කොරල් විශේෂ එකසිය විසි දෙකක් හා මත්ස්‍ය විශේෂ හාරසියයකට ආසන්න ප්‍රමාණයක් මේ තිරයේ දී දැක බලා ගත හැක.

1992 වර්ෂයේදී කොරල් පිහිටි මුහුදු ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

මේ මුහුදු තීරය භාවිතා කරන්නන්ගේ ක්‍රියා හේතුවෙන් පසුගිය කාලය තුළ කොරල් විශාල වශයෙන් විනාශ වූ අතර මේ වන විටත් යම් මට්ටමකින් එම තත්වය පවතී.

ප්‍රධාන වශයෙන් කොරල් විනාශ වූයේ ධිවරයන් දැල් එලීම, ඩයිනමයිට් ගැසීම වැනි ක්‍රියා හේතුවෙනි.

ඊට අමතරව කොරල් නැරඹීමට පැමිණෙන සංචාරකයන් රැගත් බෝට්ටු මෙහි නැංගුරම් දැමිම හේතුවෙන් ද කොරල් වලට හානි සිදු වී ඇත.

කොරල් පරය ආරක්ෂාව සඳහා ක්‍රියා නොකරන බවට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වර්ල්ඩ් විෂන් ආයතනය, ආගමික නායකයන් හා කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමය එක්ව මෙහි මුලික සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරිණ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප භාර සහකාර අධ්‍යක්ෂ එ.එච්. සුමනසේන කියා සිටියේ කල්පිටිය කොරල් පරය ලංකාවේ විශාලතම කොරල් පරය බවයි.

මේ කොරල් පරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳව පාසල් මට්ටමේ සිට ආරක්ෂක අංශ දක්වා දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රනාන්දු පැවසිය.

මුලික අදියරේ සංරක්ෂණය යටතේ සංචාරකයන් රැගෙන පැමිණෙන බෝට්ටු නැංගුරම් ලෑමට අවශ්‍ය පහසුකම් සකස් කෙරිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර