කාපට් පාරේ මැණික් දෝනා

රත්නපුර-කොළඹ සහ රත්නපුර-පානදුර ප්‍රධාන මහාමාර්ග දෙක යා කරන කුරුවිට පාතගම අතුරු පාර, ගෝනපිටිය - තිරිවනාගල්ගොඩැල්ල ප්‍රදේශයේදී ගිලා බැසීම නිසා වාහන ගමනා ගමනය ඇනහිට තිබුණි.

මෙම පාර මෑතකදී කෝටි ගණනක් වැය කරමින් කාපට් අතුරන ලද්දකි.

පාර ගිලා බැසීමට හේතු වී තිබෙන්නේ ඒ ආසන්නයේ වූ මැණික් පතලක අනවසර දෝනාවක් නිසා බවයි පැවසෙන්නේ.

පළාත් සභාවට අයත් පාරක සිට මැණික් පතලකට අඩි තිස් තුනක රක්ෂිත භූමියක් පැවතිය යුතු නමුත් බලපත්‍ර සහිත මැණික් පතල් කරුවන් එම රක්ෂිත සීමාව නොතකා දෝනා යාමත් සමඟ මහ පාර කඩා වැටී ඇත.

සෙනසුරාදා උදය වරුවේ පාරේ කුඩා කොටසක් පළමුවෙන් කඩා වැටුන අතර,පතල් කරුවන් එම හානිය පස් දමා වසා දමනු ලැබ ඇත.

අනවසර දෝනා

එහෙත් සවස ඇද හැළුණු වැස්සත් සමඟ මහ පාර සම්පුර්ණයෙන්ම කඩා වැටුණ බවයි වාර්තා වන්නේ.

එම කඩ වැටුණු කොටස අඩි දහයක් තරම් පළල් අඩි අටක් පමණ ගැඹුරු විශාල වූ අතර ඒ සමඟ රථ වාහන ගමනාගමනය ඇනහිට තිබුණි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිසි අධීක්ෂණයකින් තොරව පතල් කැපීමට අවසර දීමෙන් ඉහත කී හානිය සිදු වී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

පාර කඩ වැටුණු ස්ථානයට ඔබ්බෙන් ජීවත් වෙන වැසියන්ට මෙම අවුරුදු සමයේ අධික දුරක් ගෙවමින් විකල්ප මාර්ග ඔස්සේ ගමන් බිමන් යාමට සිදු වී ඇත.

මෙය අපරාධයක් බවට මහජනතාව චෝදනා කරන අතර පොලිසිය පවසන්නේ විමර්ශනයක් කරන බවයි.

මෙවැනි මහ පරිමාණ අපරාධ හමුවේ නීතිය වනගත ව ඇති බවයි,ප්‍රදේශවාසී සාමාන්‍ය ජනතාව කියා සිටින්නේ.