ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රවුෆ් හකීම් මහනා හිමියන් බැහැ දකී

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ වෙත වාර්තාවක් භාර දීමේ සිය තීරණය වෙනුවෙන් තමා පෙනී සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අධිකරණ ඇමති රවුෆ් හකීම් කියා සිටියි.

ඇමතිවරයා එම ප්‍රකාශය කළේ මහනුවර දී මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් මුණගැසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින්.

ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් අතිගරු මහා නායක හිමියන්ගෙන් ඉතාම වටිනා උපදෙස් රැසක් ලැබුණ බවයි අධිකරණ ඇමැතිවරයා පවසන්නේ.

මහ කොමසාරිස් නවී පිල්ලේ වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට යොමු වුනේ උගත් පාඩම් සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීම අතින් පවතින ඌනතාවය නිසා බවත් රවුෆ් හකීම් ඇමති වරයා ප්‍රකාශ කරයි.

ත්‍රෛනිකායික කමිටුවක්

Image copyright KS Udayakumar
Image caption අධිකරණ ඇමතිවරයා නවී [පිල්ලේ මුණගැසී

“ මෑතදී බිහි වුන ඇතැම් සංවිධාන නිසා දැනට උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් මහා සංඝ රත්නය කම්පාවට පත් වුනා.එම ගැටළු නිරාකරණය කර ගැනීමේදී අනවශ්‍ය විවාද වලට ගොදුරු නොවී ඉතාම සංවරව සාකච්ඡාව තුලින් ඒවා නිරාකරණය කර ගත යුතුව ඇති බව උන්වහන්සේලා අවධාරණය කළා.” යයි ද රවුෆ් හකීම් ඇමති වරයා සඳහන් කළේය.

පවතින ප්‍රශ්න විසඳා ගැනීමට ත්‍රෛනිකායික කමිටුවක් පත් කිරීමේ අදහස සම්බන්ධයෙන් තමා මහා සංඝරත්නයට ස්තුති කළ බවත් අධිකරණ ඇමතිවරයා කියා සිටියේය.

විසඳුම සාකච්ඡාවෙන්

විවිධ රටවල ප්‍රශ්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට වාර්තා කිරීම නිතරම සිදු කෙරෙන සම්ප්‍රදායක් යයි සඳහන් කළ ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා එවැනි පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

“අපි අපේ රට පාවා දුන්නේ නැහැ.සියලුම රටවල් මානව හිමිකම් මණ්ඩලය තුල මෙවැනි කරුණු සාකච්ඡාවට ගන්නවා.එවැනි ක්‍රියාමාර්ග ගැනීමේ වරදක් මම දකින්නේ නැහැ” අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.