බුදු රුව සහ පුවත් පතට අදාළ පෙත්සමක්

Image caption අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියෝ

මුද්‍රිත මාධ්‍ය මගින් බුදු රුව මුද්‍රණය කොට පල කිරීම නැවැත්වීමට පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

බුදු රුව සහිත පුවත් පත් වෙළෙඳුන් විසින් නොදැනුවත්වම මස් මාළු ඇතුළු විවිධ ද්‍රව්‍ය එතීම සඳහා භාවිතා කරන බව පැවසූ මහානායක හිමියෝ එමගින් ආගමික භක්තිය කෙලෙසන බව පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ජනතාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක්ද මහානායක් හිමියන් විසින් ජනාධිපතිවරයා වෙත බාර දෙන ලදී.

පෙත්සමක්

පෙත්සම බාරදුන් බෞද්ධයන් පිරිසක් තමන් එකතු කළ පත්‍රිකා, සඟරා සහ පුවත් පත් ආදිය මහානායක හිමියන් වෙත ඉදිරිපත් කොට ඉල්ලා ඇත්තේ උන්වහන්සේ මුණ ගැසීමට එන රාජ්‍ය පාලකයන් සහ අදාළ බලධාරීන් දැනුවත් කොට එම තත්වය වැළැක්වීමට පියවර ගන්නා ලෙසයි.

පෙත්සම බාර ගත් ජනාධිපතිවරයා ඒ ගැන සොයා බලා, අවශ්‍ය කටයුතු සිදු කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශයට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී වහාම ක්‍රියා මාර්ගයක් ගැනීමට පියවර ගන්නා බවට මහානායක හිමියන්ට ප්‍රතිඥාවක් දුන් බවයි මහනුවර ලංකාදීප වාර්තාකරු ජේ.ඒ.එල්.ජයසිංහ පවසන්නේ.

ප්‍රායෝගික ප්‍රශ්න

මහා නායක හිමියන්ගේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වන රන්ගිරි දඹුලු රජ මහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල මහානාහිමියන් පවසන්නේ එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවිය හැකි නමුත් එය තමන් වහන්සේ ද පිළිගන්නා බවයි.

පරණ පුවත් පත් භාවිතය තුල මෙම අයෝග්‍යතාව දක්නට ඇති බව පවසන උන්වහන්සේ අලවි සලකින් මස්, මාළු හෝ වෙනත් දෑ ඔතා ගෙන එන පාර්සලයක් දිග හැරීමේදී එහි බුදු රුවක් දුටුවහොත් බෞද්ධ සිතක් පෑරෙන බව ප්‍රකාශ කරති.

බෞද්ධ සිත පමණක් නොව අනෙකුත් ඕනෑම ආගමික ශාස්තෘවරයකුගේ ඡායාරූපයක් අයෝග්‍ය ස්ථානයක ඇත්නම් එම ආගමිකයාගේ සිතද පෑරීම ස්වාභාවික බවයි උන්වහන්සේ පැවසූවේ.

ආගමික නායකයන්ගේ ඡායාරූප පල කාරන්නේ නම් ඒවා සඟරාමය වශයෙන් පල කිරීමේ වරදක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති.

පුවත් පත් වල පල කොට ඉවත දැමීමෙන් පසු ඇතිවන තත්වය අනුමත කළ නොහැකි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.