විදෙස් මාධ්‍යවේදීන්ට වීසා සීමා

Image copyright president.gov.lk
Image caption ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශීය මාධ්‍ය ආයතනවල නියෝජිතයන් සමඟ.

ශ්‍රී ලංකාව තුළ වසර පහ හය කටයුතු කර ඇති විදේශීය මාධ්‍යවේදීන්ට පවා වීසා නිකුත් කරන ආණ්ඩුව බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ට වීසා සීමා පණවනු ලැබීම බටහිර රටවලට කෙනෙහිලි කම් කරමින් රට තුල ජනප්‍රිය වීමේ පටු පිළිවෙතේ කොටසක් ලෙස පෙනී යන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියා සිටියි.

එසේම තමන්ට අවශ්‍ය කරන ආකාරයට පමණක් කටයුතු කරන අයට පමණ වීසා දෙන බවට විදේශීය මාධ්‍යවේදීන්ට පණිවුඩයක් දීමක් ද එමගින් ආණ්ඩුව කරන බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර කියා සිටියේ.

“ විදේශීය මාධ්‍යවේදියකුට වසර පහකට වැඩි කාලයක් වීසා නො දෙන බවට කිසිම නීතියක් නැහැ. බීබීසී මාධ්‍යවේදියාට අදාළ ප්‍රශ්නය පැන නගින තෙක් එවැනි නීතියක් ගැන කිසිදු ප්‍රකාශයක් කර තිබුනේ නැහැ” නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩිදුරටත් කියා සිටියේය.

ආණ්ඩුවේ ප්‍රකාශය

අනාගතයේ නීතියක් ගෙන ඒමට අදහස් කරනවා නම් එය දෙස බලා ගෙන වර්තමානයේ මෙවැනි පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි බවයි, සුනිල් ජයසේකර පෙන්වා දෙන්නේ.

Image caption බීබීසී මාධ්‍යවේදී චාර්ල්ස් හැවිලන්ඩ් ශ්‍රී ලංකාවේ සිට වාර්තාකරණයේ.

එසේම වසර පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ කටයුතු කරන විදේශීය මාධ්‍යවේදීන් රාශියක් ඔවුන්ගේ වීසා බලපත් අලුත් කර ගෙන ඇති බව තම අවබෝධය බව කියා සිටි සුනිල් ජයසේකර නව සීමාව බීබීසී මාධ්‍යවේදියා ඉලක්ක කර ගත් පියවරක් ලෙස පෙනේ යන බවත් කියා සිටියේය.

විදේශීය ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාව තුළ වාර්තාකරණයේ යෙදීම සඳහා ලැබෙන අවසරය වසර පහක උපරිමයකට යටත් වන බවයි, ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් පවසන්නේ.

මේ හේතුව නිසා වසර පහක් තිස්සේ කොළඹ සිටින බීබීසී වාර්තාකරුගේ වීසා බලපත්‍රය මාස තුනකට පමණක් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

මේ අතර , ශ්‍රී ලංකාවේ විදේශීය වාර්තාකරුවන්ගේ සංගමය පවසන්නේ විදේශීය ජනමාධ්‍යවේදීන්ට එවැනි කාල නියමයක් පවතින බවක් ඔවුන් මින් පෙර දැන නො සිටි බවයි.