'මීමැස්සෝ' ජෝබී සමු ගනියි

මීමැස්සෝ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ ජෝබී පෙරේරා පසුගිය සති අන්තයේ දිවි වේදිකාවෙන් සමු ගත්තේ හැත්තෑ හත් වැනි විය පසු කරමින් සිටියදී.
ජෝබී පෙරේරාගේ හඬින් ගැයෙන 'මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා' අදටත් සංගීතලෝලීන්ගේ තුඩ තුඩ රැව් දෙන ගීතයක්.
ලොස් මුචාචෝස් සංගීත කණ්ඩායමෙන් සිය සංගීත චාරිකාව ආරම්භ කළ ජෝබී, ඉන් වසර කිහිපයකට පසුව සිය සහෝදරයන්ද සමඟ එක් වී මීමැස්සෝ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ ලතින් ඇමෙරිකානු කැලිප්සෝ සංගීත රටාව ශ්රී ලංකාවට හඳුන්වා දෙමින්.
එහිදී සිය උත්සාහයට ප්රණාමය මෙන්ම දැඩි විවේචනද එල්ල වූ බව ජෝබී මා සමඟ කියා සිටියේ, පසුගිය ඔක්තෝබරයේදී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
2013 දී සිය සංගීත දිවියට අඩ සිය වසක් සම්පූර්ණ කළ ජෝබී එය සැමරීමේ ප්රසංගයකට සූදානම් වෙමින් සිටියදීයි, හදිසියේම රෝගාතුර වූයේ.
මඳක් සුවය ලබා යළි නිවසට පැමිණි සංගීතවේදියාට අඩ සියවසක සංගීත චාරිකාව සැමරීමේ සිහිනය සැබෑ කර ගැනීමට දෛවය හරස් විය.