අනවසරයෙන් පදිංචි පුද්ගලයින් අධිකරණයට

Image copyright other

මන්නාරමේ මරිච්චිකට්ටු පළාතේ අනවසරයෙන් පදිංචිව සිටින මුස්ලිම් පුද්ගලයින් දස දෙනෙකු බ්‍රහස්පතින්දා දහවල් සිතාසි මගින් මන්නාරම අධිකරණය වෙත කැදවූ බව පළාතේ සහකාර වනජීවි නිලධාරි එස්. ඒ. රාමසිංහ පවසයි.

මේ පිරිසට එරෙහිව ඇති චෝදනා වන්නේ අභය භුමියකට අයත් රජයේ කැළෑව තුල අනවසර ලෙස පදිංචිවීම, කැළයට ගිණි තැබීම,රජයේ දේපල විනශ කිරීම වැනි චෝදනා බවද ඔහු කියා සිටියේය.

වන රක්ෂණ නිලධාරියා පවසන්නේ පළාතේ අනවසරයෙන් ඉදිකළ තවත් නිවාස 44 ක් ඇති අතර එම ඉදිකිරීම් කල පිරිසද ඉදිරි කාලයේදී අධිකරණය හමුවට ගෙන ඒමට ක්‍රියා කරණ වගයි.

අනවසර ඉදිකිරීම්

තම නිලධාරීන් අනවසර ඉදිකිරීම් සිදුකළ ප්‍රදේශ වලට යවන අවස්ථාවලදී ඉදිකිරීම් කළ පිරිස් එම ස්ථානවලින් පැනයාම නිසා ඔවුන් සොයාගැනීමේ ගැටලුවවක් ඇති වගද වනජීවි නිලධාරියා කියා සිටියේය.

සැකයට ලක්වූ පිරිස නීතිඥවරයෙකු සමග මන්නාරම අධිකරණයට රැගෙන ගිය උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරණ මුස්ලිම් ජාතික මන්ත්‍රි අස්මින් අයුබ් කියා සිටියේ මේ පිරිස අනවසරයෙන් පදිංචි පිරිසක් නොවන බවයි.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නීත්‍යානුකූලව බෙදා දුන් ඉඩම් අක්කර 50 ක ඔවුන් පදිංච්චිව සිටින බවයි ඔහු කියා සිටියේ.

විකල්ප ඉඩම

කලින් මෙම වැසියන් පදිංචිව සිටි අක්කර 300 ක පමණ ඉඩම නාවික හමුදාව අත්පත් කරගත් බවද අනතුරුව ඔවුන් සොයා ගත් විකල්ප ඉඩම යුද හමුදාව බලහත්කාරයෙන් ගත් බව ද අස්මින් අයුබ් මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ වන විට ඔවුන් පදිංචි වූ ඉඩම අභය භුමියකට අයත් බව පවසමින් ඔවුන්ට එරෙහිව අධිකරණය මගින් කටයුතු කරන්නේ යැයිද පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්. මේ පිලිබද නඩු විභාගය ලබන මැයි මස 22 වැනි දින දක්වා කල් තැබීමට මන්නාරම දිසා විනිසුරුවරයා විසින් තීන්දු කෙරිණ.