එජාපය කැසිනෝ එරෙහි උද්ඝෝෂණයේ

අද,බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ක්‍රමෝපාය සංවර්ධන පනත ඉවත් කර ගන්නා ලෙස පවසමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි කැසිනෝ ශාලාවක් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

මෙම අවස්ථාවට තුන්සීයක් පමණ එක් ව සිට අතර ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතට අනුව ඉදි කිරීමට යෝජිත නවීන හෝටල් සංකීර්ණය තුළ කැසිනෝ සූදුව ක්‍රියාත්මක කරන බවට චෝදනා නඟමිනුයි, ඔවුහු විරෝධතා ව්‍යාපාරයේ යෙදී සිටියේ.

ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි කැසිනෝ ශාලාවක් වෙත පාගමනින් පැමිණීමට පෙර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ඕස්ට්‍රේලියානු ජාතික කෝටිපති ව්‍යාපාරික ජේම්ස් පැකර් ගේ සමාගමට වෙන් කර ඇති ඉඩම පිහිටි පරිශ්‍රය අසල ද විරෝධතාවක යෙදුනහ.

කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව රහසිගතව ගනිමින් ඇති උත්සාහයට විරෝධය පළ කරන මෙන් එක්සත් ජාතික පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක දී වත්මන් පාලනය යටතේ ඉදිකිරීමට යන කැසිනෝ ශාලා ඉවත් කරන බවයි, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සන්දේශයට කියා සිටියේ.

ඉහත කී විරෝධතා ව්‍යාපාරයට භික්ෂූන් වහන්සේ පිරිසක් ද එක්ව සිටියහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර