ශ්‍රී ලංකා සිසුවියට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකික සිසුවියක්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වාර්ෂිකව සංවිධාන කරන ආසියානු සහ ශාන්තිකර කලාපය සඳහා වූ ජාත්‍යන්තර චිත්‍ර තරඟයේ පළමු ස්ථානය දිනා ගනියි.එම ත්‍යාගය දිනා ගත්තේ අට හැවිරිදි කේ.කේ.සෙනුලි පෙරේරා සිසුවියයි.

ඇගේ මෙම චිත්‍රයට තේමාව වූයේ ‘ආහාර නාස්තිය නවතමු - මිහිතලය රැක ගනිමු - ආහාර විනාශය වලක්වමු - අහාර නාස්ති කිරීම මිහිතලයද විනාශ කිරීමයි’ යන්නයි.

සෙනුලි පෙරේරා සිසුවිය මේ වසරේ ජය ලබන්නේ ආසියානු සහ ශාන්තිකර කලාපීය රටවලින් තරඟයට ඉදිරිපත් කළ නිර්මාණ හැට තුන් දහස් හත් සියයක් අතරින්.

ඇගේ නිර්මාණය බටහිර ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව, යුරෝපය, උතුරු ඇමරිකාව සහ කැරිබියානු රටවලින් ජය ගන්නා නිර්මාණ අතර පැවැත්වෙන ජාත්‍යන්තර තරඟයට ඉදිරිපත් කෙරෙන අතර එම ජයග්‍රාහකයා ජගත් ජයග්‍රාහකයන්ගේ උත්සවයක දී ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

පරිසර වැඩසටහන

එක්සත් ජතීන්ගේ පරිසර වැඩසටහනේ ටුන්සා ජාත්‍යන්තර චිත්‍ර තරඟය, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන, ජපානය මූලස්ථානය කොට ගත් ජගත් සාම සහ පරිසර පදනම සහ නිකොන් සංවිධානය විසින් වාර්ෂිකව සංවිධාන කෙරෙන්නක්.

“මං පුංචි කාලේ ඉඳල පුංචි කැටේකට කාසි එකතු කිරීමේ පුරුද්දක් තිබුනා. මේ චිත්‍රය අඳින්න සිතට කාවැදුනේ ඒ අදහස. මගේ චිත්‍රය තුලින් මම ලෝකේ ඉන්න ළමයි හැමෝටම කියන්නේ පුංචි කුහුඹුවන් වගේ අපි අනාගතය සඳහා ආහාර ඉතිරි කරගැනීමට අවනත විය යුතු බවයි ,” සෙනුලි පෙරේරා සිසුවිය කියා සිටින්නීය.

ඇගේ නිර්මාණය සහ සෙසු ජයග්‍රාහී චිත්‍ර ජපානයේ විවිධ ස්ථානවල ද වෙනත් රටවල ද එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සහ ජගත් සාම සහ පරිසර පදනමේ වෙබ් අඩවිවල ද ප්‍රදර්ශනය කෙරේ.

සෙනුලි පෙරේරා සිසුවියගේ නිර්මාණය වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් දහසක මුදලක් හිමි වෙයි.

ලබන ජූනි මාසයේ 23-27 යන දින වලදී කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගීවීම සඳහා සියලු වියදම් ඇතුළුව ගුවන් ගමන් ටිකට් පත් ඇයටත් ඈ සමඟ යන වැඩිහිටියකුටත් ප්‍රදානය කෙරේ.