කුරාම් ෂයික්: විත්තිකරු හඳුනා ගත්තේ 'වැරදීමකින්'

Image caption තමන්ට පහර දුන්නේ සමපත් විදානපතිරණ බව පැවසුවේ වැරදීමකින් බව සාක්ෂිකරු කියයි

කුරාම් ෂයික් ඝාතන නඩුවේ පැමිණිල්ලට එරෙහිව සාක්කි දුන් රජයේ සාක්කිකරුවකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගැනීමට අදහස් කරන බව නීතිපතිවරයා පවසයි.

කුරාම් ෂයික් ඝාතන නඩුව සඳුදා කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබූ අවස්ථාවේයි, නීතිපතිවරයා ඒ බව කියා සිටියේ.

කුරාම් ෂයික් ඝාතනය සිදු වූ දින තංගල්ල නිවාඩු නිකේතනයේ පැවති රාත්‍රී නත්තල් සාදයට තමන්ද සහභාගී වූ පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස නම් කර තිබූ බ්‍රයන් අකලංක අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

සාදයේ තමන් නටමින් සිටි අවස්ථාවේ කිසියම් පිරිසක් තමන්ට පහර දුන් අතර සුදු ජාතිකයකු එය වැළැක්වීමට උත්සාහ කළ බවද සාක්කිකරු කියා සිටියේය.

'රිමාන්ඩ් කරන්න'

කෙසේ නමුත් තමන්ට පහර දුන් පිරිස හඳුනාගත නොහැකි වූ බවයි, රජයේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්කිකරු කියා සිටියේ.

තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බවට කුරාම් ෂයික්ගේ මරණ පරීක්ෂණයේදී සාක්කිකරු සඳහන් කොට තිබෙන බව එවිට රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේය.

එයට පිළිතුරු දෙමින් සාක්කිකරු කියා සිටියේ මරණ පරීක්ෂණයේදී තමන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ එවැනි ප්‍රකාශයක් කර තිබේ නම් එය වරදක් බවයි.

රජයේ නීතිවේදියා දිගින් දිගටම ප්‍රශ්න කළ නමුත් තමන්ට පහර දුන් පුද්ගලයින් නොහඳුනන බව සාක්කිකරු අවධාරණය කළේය.

සිද්ධිය වූ පසුව බාහිර පුද්ගලයින් කි තොරතුරු පදනම් කරගෙන තමන් එවැනි ප්‍රකාශයක් පොලිසියට සහ මරණ පරීක්ෂණයේ දී කියා සිටි බවද ඔහු පැවසීය.

සාක්ෂිකරු පැමිණිල්ලට අගතිදායක සාක්කි ලබා දී ඇති නිසා ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පියවර ගැනීමට අදහස් කරන බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත් කිරීමක් හෝ ඇප මත මුදා හැරීමක් කරන මෙන් පැමිණිල්ලේ නීතිවේදියා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සටහන් කරගත් අධිකරණය සාක්ෂිකරු මුදාහැරීමට තීන්දු කළේය.

2011 නත්තල් දිනට පෙර දින තංගල්ල නගරය අසල හෝටලයක දී කුරාම් ෂයික් ඝාතනය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් පිරිසක් චෝදනා ලබා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර