ආගමික ඒකකය: 'පොලිසියට එරෙහිවත් පියවර ගන්නවා'

Image caption රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ'

ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකය මගින් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන්ද පියවර ගන්නා බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඒ බව කියා සිටියේ, ආගමික කටයුතු අමාත්‍යංශය පරිශ්‍රයේ සඳුදා පිහිටවන ලද ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයේ අරමුණ පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ මෙම ඒකකයට තවත් නිලධාරීන් දාහත් දෙනකු යෙදවීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව ආගමික ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙන්ම කිසියම් ප්‍රාදේශීය පොලිසියක් ආගමික ගැටුම් සම්බන්ධ නිසි පියවර නොගන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කිරීමත් මෙම ඒකකයට අයත් රාජකාරි අතර වේ.

බොදු බල සේනා

Image caption ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් පුහුණුවක්'

විශේෂයෙන්ම බොදු බල සේනා සංවිධානයේ සාමාජිකයන් විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේට සහ ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික කණ්ඩායම් ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහාර සහ තර්ජන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන බව පොලිසියට එල්ල වන ප්‍රධාන චෝදනාවක්.

"ඔවු ඇත්ත වශයෙන්ම එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව පවා විමසීමට තමයි, මෙම විශේෂ ඒකකය ස්ථාපිත කරලා තියෙන්නේ," යන්න එම චෝදනාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගේ ප්‍රතිචාරයයි.

ළමා සහ කාන්තා හිංසන සම්බන්ධයෙන් 2013 දී පොලිස් කාන්තා සහ ළමා කාර්යාංශයට ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 16,000 කට අධිකයි. පුරා විද්‍යා කොල්ලකෑම් සම්බන්ධයෙන් දෙදහසකට ආසන්න පැමිණි සංඛ්‍යාවක් පොලිස් පුරාවිද්‍යා අංශයට ලැබී තිබේ.

මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් පොලිස් සමූහ මංකොල්ලකෑම් අංශයට ලැබී තිබෙන පැමිණි සංඛ්‍යාවද දෙදහසකට ආසන්න වේ.

'බහුවාර්ගික සමාජයක්'

මෙවන් වාතාවරණයක් තුල ආගමික ගැටුම් සම්බන්ධ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමේ අරමුණ දහස් ගණන් ආගමික ගැටුම් වාර්තාවීමදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් පොලිස් ප්‍රකාශකවරයා කියා සිටියේ, දැනටමත් විශේෂිත කාර්යයන් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තුල ඒකක පනස් දෙකක් තිබෙන බැවින් ආගමික සංහිඳියාව සහ සජ්හජීවනය වෙනුවෙන් විශේෂ ඒකකයක් පිහිටුවා 'කැපවී ක්‍රියාකිරීමට' පොලිසිය පසුබට නොවන බවයි.

"බරපතල ගැටළු තියනවට වඩා, මේ රට අවුරුදු තිහක යුද්ධයක් තිබුන රටක්, නැවත එවැනි ගැටළු ඇතිවෙනවා නම් ඒවා වලක්වා ගැනීම තමයි අපේ අරමුණ," යනුවෙන්ද පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

මුස්ලිම් සහ දෙමළ නිලධාරීන්ද මෙම ඒකකයට අනුයුක්ත කිරීමට බලාපොරොත්තු වන අතර, සිංහල සහ දෙමළ භාෂාවන් මෙන්ම ශ්‍රී ලංකාවේ 'බහුවාර්ගික සමාජයේ' විවිධ ජනකොටස්වල සම්ප්‍රදායයන් සහ චාරිත්‍ර සම්බන්ධයෙන් එම නිලධාරීන් පිරිසට පුහුණුවක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර