පාළුයි දෙහිවල අලි රඟමඬල

Image caption දෙහිවල අලි ඇතුන්

ක්‍ෂයරෝගය ‘මිනිසාගෙන් අලියාටත් අලියාගෙන් මිනිසාටත්’ බෝ විය හැකි දෙපාර්ශ්වයට ම අවදානමක් ඇති අසනීප තත්වයක් වන බව ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමය පෙන්වා දෙයි .

ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා එම පෙන්වා දීම කළේ, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

අලි ඇතුන්ට වැළඳෙන ක්‍ෂයරෝගය මාධ්‍යයට මාතෘකාවක් වුණේ, දෙහිවල සත්වෝද්‍යානයේ අලින්ට එම රෝගය වැළඳී ඇති බව සොයා ගැනීමෙන් අනතුරුව අලි නැටුම් නතර කිරීමට එහි පාලකයන් පියවර ගැනීමත් සමඟයි.

ක්‍ෂයරෝග කාරක විෂ බීජය සතුන්ගේ ශරීරගතව ඇති බව සොයා ගනු ලැබුනොත් අනුගමනය කළ යුතු වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ රෝගී සතුන් නිරෝගී සතුන්ගෙන් වෙන් කරනු ලැබීම යයි වෛද්‍ය විජිත පෙරේරා පෙන්වා දෙයි.

සේවක මතය

“ මේ ක්‍රියාවලිය ආරම්භ කෙරුණේ අලි ඇතුන්ගේ නැටුම් නතර කළ යුතුය කියන තැනින් නොවෙයි. එහෙත් අප පිළිගන්නා විද්‍යාව අනුව සිදු කරන්නේ රෝගයට ගොදුරුව සිටින සතුන් සහ නිරෝගී සතුන් වෙන් කිරීම. මෙහි දී සිදු විය යුතු හොඳම දෙය සතුන්ගේ ශුභ සාධනය වැඩි දියුණු කරමින් රෝගී සතුන් නිරෝගී තත්වයට ගෙන ඒමයි” වෛද්‍ය විජිත පෙරේරා බීබීසියට ප්‍රකාශ කළේය.

Image copyright AP

එහෙත් දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් පවසන්නේ, අලියාගෙන් මිනිසාට ක්‍ෂයරෝගය වැළඳීමේ අනතුරක් නොමැති බවයි.

“සේවකයන් කියන කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද? මින් පෙර දෙහිවල සත්තු වත්තේ ඇතින්නක් ක්‍ෂය රෝගයෙන් මැරුණා. ඒ අවස්ථාවේ එම රෝගය සේවකයන්ට බෝවීමේ ගැට‍ළුවක් මතු වෙලා නැහැ. ඒත් ඇමෙරිකානු සත්වෝද්‍යානවල සතුන්ගෙන් මිනිසුන්ට රෝගය බෝවී ඇති බව ඔප්පු වී තිබෙනවා. මෙතන තියෙන්නේ අවදානමක් ” ශ්‍රී ලංකා වනජීවී පශු වෛද්‍ය සංගමයේ උප සභාපති දොස්තර විජිත පෙරේරා පවසයි.

වෛද්‍යවරයාගේ වගකීම

එවැනි අවදානමක් ගන්නා ලෙස නිර්දේශ කිරීමට වෛද්‍යවරයකුට නොහැකි බවයි, දොස්තර විජිත පෙරේරා කියා සිටින්නේ.

දෙහිවල සත්වෝද්‍යාන සේවකයන් කියා සිටින තවත් කරුණක් වන්නේ පුහුණු කරනු ලැබ ඇති අලි ඇතුන්ගේ නැටුම් නතර කළොත් එම සතුන් යළි රංග භූමියට ගැනීම දුෂ්කර කරුණක් වන බවයි.

දෙහිවල නැටුම් පුහුණු අලින් පස් දෙනකුගෙන් හතර දෙනකුම ක්‍ෂයරෝගයට ගොදුරු වී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇති හෙයින් රංග භූමියට ඉතිරි වන්නේ එක් අලියකු පමණි.

එම පදනම මත සත්වෝද්‍යාන සේවකයන් පළ කරන අදහසෙහි සත්‍යයක් ඇති නමුත් රෝග නිවාරණ පියවරක් හැටියට අලින් සහ මිනිසුන් වෙන් කරනු ලැබීම මගින් අලි සංදර්ශන නතර වීමේ තත්වයක් උද්ගත විය හැකි බවයි, දොස්තර විජිත පෙරේරා පිළිගනියි.