ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'එල් ටී ටී ඊ ය ක්‍රියාත්මකයි' - ඇමරිකාව

එල්ටීටීඊ සංවිධානයට මුල්‍ය ආධාර සැපයීමේ සංවිධාන ජාලය දෙදහස් දහතුන වසරපුරාම ක්‍රියාත්මක වූ අතර තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇමරිකාව පවසයි.

මෙසේ එල්ටීටීඊ ක්‍රියාකාරකම් සඳහා පුණ්‍ය ආයතන මුවාවෙන් අරමුදල් රැස් කිරීම කරන බව සඳහන් වන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පසුගිය වසරේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබඳ වාර්තාවකයි.

ඩයස්පොරාවෙන් මුදල්

ආයුධ ලබාගැනීම, සංනිවේදන කටයුතු, අරමුදල් රැස් කිරීම, සහ වෙනත් අවශ්‍යතා සඳහා එල්ටීටීඊ සංවිධානය තම අන්තර් ජාතික සම්බන්ධතා සහ උතුරු ඇමරිකාවේ, යුරෝපයේ, සහ ආසියාවේ ජීවත් වන අති විශාල දෙමළ ඩයස්පෝරාව යොදාගනිමින් සිටින බවයි බදාදා නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වන්නේ.

යුද්ධයෙන් පසු එල්ටීටීඊ සංවිධානය විසින් කළේ යැයි කිව හැකි ප්‍රහාරයන් කිසිවක් වාර්තා වී නැති වුවද එම සංවිධානයේ ජාත්‍යන්තර මුල්‍ය ජාලය පසුගිය වසර පුරාම ක්‍රියාත්මක වී ඇති බවයි එම වාර්තාව ඉදිරිපත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කොට ඇත්තේ.

දෙදහස් නමයට පෙර එල්ටීටීඊ ය විසින් රාජ්‍ය නොවන සංවිධාන රැසක් තම අරමුදල් රැස් කිරීමේ නියෝජිතයන් ලෙස යොදා ගත් බව සඳහන් කරන මෙම වාර්තාව 2009 දී ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ගේ ප්‍රහාරයන් හමුවේ එල්ටීටීඊ ය පරාජයට පත්වුවද එය ම අනුකම්පාව දිනා ගැනීමේ හේතුවක් කොට ගෙන ජාත්‍යන්තර මුල්‍ය ආධාර ජාලය ක්‍රියාත්මක කරන බවයි පවසන්නේ.

ඇමරිකානු සහයෝගීතාවයට සීමා

එල්ටීටීඊ සාමාජිකයන් හෝ එයට අනුග්‍රහ දක්වන්නන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බවද මේ වාර්තාවේ සඳහන්.

යුද්ධය පැවති සමයේ ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපක්ෂය සිදු කරන ලදැයි පැවසෙන යුධ අපරාධ සම්බන්ධ කාරණය පිලිබඳ තවමත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම හේතුවෙන්ම ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධව ශ්‍රී ලංකා රජයත් ඇමරිකාවත් සමග පැවති සහයෝගීතාව සහ පුහුණු කටයුතු දෙදහස් දහතුන වසරේ දී සීමා කෙරිණි.

කෙසේවුවද, පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට හමුදාවට බලය පැවරුණු ත්‍රස්තවාදය වැලක්වීමේ පනත දෙදහස් දහතුන වසරේ දී ද බලගැන්වුනු අතර ශ්‍රී ලංකා රජය ඇතැම් විට රජය විවේචනය කළ දේශපාලන විරුද්ධ මතධාරීන් මර්දනය සඳහා ද එය යොදා ගත් බව එම වාර්තාව මගින් කියැවේ.