නැගෙනහිර ඉඩම් බෙදාදීමේ දී අක්‍රමිකතා - ජනපති උපදේශක

Image copyright AFP

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාකරේ ප්‍රදේශයේ රජයේ ඉඩම් පෞද්ගලික අංශයට ලබා දීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බවට නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් චෝදනා කරයි.

ජනාධිපති උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන ඔහු වත්මන් නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක්.

වාකරේ කලපු ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව සදහා හඳුනා ගෙන ඇති බිම් ප්‍රමාණය අක්කර දෙදහස් තුන්සීයක් පමණ වේ.

නියමිත රාමුවෙන් පිට

පූර්ව අවසරයකින් මෙම ඉඩම් පුද්ගලික අංශයට ලබා දී ඇති බව දැන ගැනීමට ලැබී ඇතැයි පැවසූ හිටපු මහ ඇමතිවරයා එම ඉඩම් පුද්ගලික අංශයට ලබා දීමේ දී නියමිත රාමුවෙන් පිට පැන ක්‍රියා කර ඇති බව මාධ්‍යවේදී ශාන්තී සෙල්වදොරේ කළ විමසීමක දී කියා සිටියේය.

වැඩි දුර අදහස් දැක්වූ නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා‘’ඉඩම් ලබා දීමට අපි විරුද්ධ නැහැ, විනිවිදභාවයෙන් යුතු ව නිසියාකාරව එය කල යුතුයි, මේ වැඩ පිළිවලට පිටින් තම තනි තීරණය මත දිසා ලේකම්වරිය හදිසියේ අක්කර දෙදහස් තුන්සීයක ඉඩම් පුද්ගලික ආයතනයකට ලබා දී තිබෙනවා, මෙය වැරදියි, එය නවත්තන මෙන් අපි දිසා ලේකම්වරියට දන්වා තිබෙනවා’’.

මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ කරුණු අනාවරණය කළ ජනාධිපති උපදේශක චන්ද්‍රකාන්තන් ඉඩම් බෙදා දුන් පුද්ගලයන්ගේ නම් ඇතුළත් ලේඛනයේ පිටපතක් ඉල්ලා සහ ඉඩම් ලබා දුන්නේ කුමන පදනමක සිට දැයි කියා පසු ගිය විසි එක් වෙනිදා පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරියට යවන ලද ලිපියට මේ වනතුරුත් පිළිතුරු ලැබී නැති බව සඳහන් කළේය .

රජය කෙරෙහි පිළිකුලක්

Image copyright defence.lk

‘’මේ ඉඩම් තැනින් තැන කලපු ආශ්‍රිතවයි තියෙන්නේ. අපි තොරතුරු ඉල්ලා සිටියා, එය නො ලැබුණු එක ගැන කනගාටුයි, මේ ප්‍රශ්න මතු වූ අවස්ථාවේ රජය සමග සාකච්ඡා කර විසඳුමකට ඒමට හැකි නො වුනොත් ඉඩම් ලබා දීමේ දී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ ජනාධිපතිවරයා හා ජනතාව දැනුවත් කරන බව අපි කියා සිටියා’’.

මෙවැනි ප්‍රායෝගික නොවන ක්‍රියා මගින් ජනතාව තුළ රජය කෙරෙහි පිළිකුල් සහගත තත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව සිවනේස්සතුරෙයි චන්ද්‍රකාන්තන් ජනාධිපතිවරයාට දන්වා ඇති බව මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් වැඩි දුරටත් පැවසුවේය.

මේ චෝදනා සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන මඩකලපුව දිසා ලේකම්වරිය පී එම් එස් චාල්ස් ‘’ධීවර අමාත්‍යාංශය විසින් හඳුනා ගත් අක්කර පන්දාහකට අධික ඉඩම් වල කෙටුම්පත් වසර එක හමාරක් තිස්සේ විවිධ අංශයන් හි නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව විසින් පරීක්ෂා කර තිබුණා, එම කමිටු වාර්තාව ප්‍රාදේශීය ඉඩම් පරිහරණ කමිටුවට යවා අවසර ලබාගෙන පසුව දිස්ත්‍රීක් ඉඩම් කමිටුවට බාර දී තිබුණා, නිසියාකාරව සකස් කල වාර්තා අනුවයි අපි ඇතැම් ප්‍රදේශ නිර්දේශ කර තිබෙන්නේ’’.

මඩකලපුව දිසා ලේකම්වරිය විසින් මෙම වාර්තා පළාත් ඉඩම් කොමසාරිස්වරයාට යොමු කරන මෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති අතර නිසියාකාර සොයා බැලීම් කර අවසානයේ ඉඩම් ලබා දීම පිළිබඳ සලකා බලන බව පී එම් එස් චාල්ස් දිසා ලේකම්වරිය නැගෙනහිර පළාත් හිටපු මහ ඇමතිවරයා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර