හෙද වැඩවර්ජනය රට පුරා පැතිරේ

හෙදියන්ට සූතිකා පුහුණුව ලබාදීම සම්බන්ධයෙන් හෙද හදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් අතර හට ගෙන තිබෙන මතභේදය මත දියත් කෙරුණ හෙද වැඩ වර්ජනය රට පුරාම රෝහල්වලට පැතිර ගොස් තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර අහෝසි කොට ඔවුන් හෙද සේවයට අනුයුක්ත කරන මෙන් හෙද නිළධාරීහු ඉල්ලා සිටිති.

"අපි කියන්නේ සූතිකා පුහුණුව ලබපු මිඩ්වයිෆ්ලත් නර්සින්වලට හරි අරගෙන මිඩ්වයිෆ්ල ගන්න එක නවත්තමු කියල,"යනුවෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ මාධ්‍ය ප්‍රකාශිකා ශ්‍රීමතී පද්මිනී සංදේශයට කියා සිටියාය.

ලොව බොහෝ රටවල පවුල් සෞඛ්‍ය නිලධාරී තනතුරක් නොමැති බවද ඇය පවසන්නීය.

'විසඳුම් දෙනවා'

එහෙත් එය වැරදි අවබෝධයක් බවයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය කපිල මල්ලවාරච්චි මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල් කළ විමසීමකදී කියා සිටියේ.

"වෘත්තියක් නෑ නෙවෙයි, නර්ස්ලට වැඩිය ඉහල තලයක තමයි මිඩ්වයිෆ්ල ඉන්නේ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

ගැටලුවට විසඳුමක් ලබාදීම පිණිස මුදල් අමාත්‍යංශ ලේකම් පීබී ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මේ අතර බීබීසීයට කියා සිටියේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳුදා යලි සේවයට වාර්තා කිරීමට එකඟ වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී සඳහන් කළේය.

විසඳුම් ලබා දීමට පත් කළ කමිටුව ඉක්මනින්ම විසඳුම් ඉදිරිපත් කරනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේය.

එහෙත් ඉල්ලීම් ලැබෙන තුරු වර්ජනය අත් නොහරින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

දෙපාර්ශවය අතර මේ කඹ ඇදීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව පුත්තලමේ රෝහල්වල සංචාරයක යෙදුන ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර