ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිස් නිලධාරියා ඝාතනය ගැන ඔත්තුවකට ලක්ෂ දහයක්

කුරුණෑගල පොලිසියේ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනකු පැහැරගෙන ගොස් එක් අයෙකු ඝාතනය කළ කණ්ඩායම පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන අයකුට රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

පොලිස් නිලධාරීන් මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම මේ රටේ නීතියේ ආධිපත්‍යට, පොලිසියට කරන ලද අභියෝගයක් බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම අභියෝගය බාරගෙන සැකකරුවන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන බවද සංදේශයට පැවසීය.

අඟහරුවාදා අලුයම කුරුණෑගල දඹුල්ල මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටියදී සන්නද්ධ පිරිසක් විසින් තමන් පැහැරගත් බව පවසන පොලිස් කොස්තාපල් වීරසූරිය, ඉන් අනතුරුව ඔවුන් සිය නිළ ඇදුම් ගලවා පහර දුන් බව පැවසීය.

පොලිස් කොස්තාපල් සිසිර සම්පත් ට වෙඩි තබනවාත් සමග ගිනි අවිය අත දරා සිටි පුද්ගලයා වෙත පැන පොර බදා දිවි බේරා ගෙන පැන ගත් බවයි, පොලිස් කොස්තාපල් වරයාගේ සාක්ෂියේ සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්ද පැහැරගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.