ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට ඉදිකිරීම් ගැන 'විගණනයක් අවශ්‍යයි'

හම්බන්තොට වරාය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම පිළිබඳව ස්වාධීන පූර්ණ විගණනයක් අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේ හම්බන්තොට සහ මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ නායකත්ව මණ්ඩලයට ඉදිරිපත් කළ සිය නිරීක්ෂණ වාර්තාව මගිනුයි ඒ බව ප්‍රකාශ කරන්නේ.

හම්බන්තොට වරාය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිසි සැලැසුමක් නොමැතිව හදිසියේ ආරම්භ කළ ව්‍යපෘති දෙකක් බව මන්ත්‍රී කණ්ඩායමේ නිරීක්ෂණයයි.

Image caption 'ගුවන් තොටුපලේ දිනකට සාමාන්‍යයෙන් සිදුවන්නේ ගුවන් ගමන් වාර තුනක් සහ හයක් අතර ප්‍රමාණයක්'

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආන්දෝලනාත්මක සංචාරයේ නිරීක්ෂණ වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා: "වරායෙත්, ගුවන් තොටුපලෙත් අරමුදල් යොදල තිබෙන ආකාරය ගැන සම්පූර්ණ විගණනයක් කරන්න ඕනේ. මුදල් ඵලදායී ලෙස යොදල තිබෙනවද කියලා ස්වාධීන ආයතනයක් හරහා විගණනය කිරීම අපේ ප්‍රධානම නිර්දේශයයි," යනුවෙන් පැවසීය.

හම්බන්තොට ගුවන් තොටුපලේ දිනකට සාමාන්‍යයෙන් සිදුවන්නේ ගුවන් ගමන් වාර තුනක් සහ හයක් අතර ප්‍රමාණයක් වන අතර, එම ගුවන් වාර වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ශ්‍රී ලන්කන් ගුවන් යානා මත්තල හරහා යැවීම නිසා බවයි නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

'නගරාධිපති ගිවිසුම්වලට සම්බන්ධයි'

මේ හේතුවෙන් දැනටමත් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය තවදුරටත් පිරිහී බරපතල තත්වයක් ඇතිවනු ඇතැයිද වාර්තාවේ සඳහන් වේ. ගුවන් තොටුපල භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාවද ඉතා අල්ප බවත් සැලකිය යුතු භාණ්ඩ ප්‍රවාහනයක් එහි සිදු නොවන බවත් එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

ගුවන් තොටුපල පිහිටීම දේශගුනිකවද ශ්‍රී ලංකාවට අවාසි බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ අදහසයි.

"සාමාන්‍යයෙන් දෙවන ගුවන් පථයක් දානකොට දාන්නේ නැහැ ඒ වර්ෂාපතනය තියෙන ප්‍රදේශයකම. මේ ගුවන් තොටුපල දැම්මෙත් කටුනායකට වගේම නිරිත දිග මෝසම් වැසි බලපාන ප්‍රදේශයක," යනුවෙන් ඔහු කියා සිටියේය.

Image caption 'මැරයන් සහ නගරාධිපතිවරයා ක්‍රියාන්විත හා නඩත්තු ගිවිසුම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා'

සෑම ව්‍යාපෘතියක්ම හම්බන්තොටට යායුතුයි යන මතයේ රජය සිටින බව පවසන එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ඊට එරෙහිව විද්‍යාත්මක හෝ ආර්ථික සාධක තිබුනත් එම සාධක නොසලකා හැර ඇති බවද සඳහන් කරයි.

මන්ත්‍රීවරුන්ට පහරදුන් මැරයන් සහ නගරාධිපතිවරයා වරායේ සහ ගුවන් තොටුපොල ක්‍රියාන්විත හා නඩත්තු ගිවිසුම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයිද ඔහු පැවසීය.

හම්බන්තොට වරායට පසුගිය මාස 12 තුල සාමාන්‍යයෙන් දිනකට පැමිණ ඇත්තේ එක් නැවක්‌ පමණක් බව මෙම නිරීක්ෂණ වාර්තාවේ සඳහන් වන අතර එම නැවු පැමිණ තිබෙන්නේද වාහන ආනයන අපනයන කටයුතු හම්බන්තොට වරායෙන් පමණක් සිදුකළ යුතු බවට නියෝග දීම නිසා බවයි එහි සඳහන් වන්නේ.

"අපිට පෙනෙන දේ තමයි මේවා සාර්ථක කරගන්න අමාරුයි. නමුත් ජනතාවගේ මුදල් වියදම් කරලා හදලා තියෙන නිසා අපි වඩාත් නිර්මාණශීලි ව්‍යාපාරික සැලැස්මක් තුලින් මේවා පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතුයි," යනුවෙන්ද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේය.

'විගණනයට යටත්'

එක්සත් ජාතික පක්ෂයේ මෙම නිරීක්ෂණ වාර්තාව පිළිබඳව අදහස් දක්වන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසන්නේ, හම්බන්තොටට සිදුවී ඇති සංවර්ධනය දරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය මෙවැනි චෝදනා එල්ල කරන බවයි.

"මේවා රාජ්‍ය විගණනයට යටත්. පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට වගකිව යුතුයි මේ හැම ඉදිකිරීමක්ම, මේ හැම වියදම් කිරීමක්ම. සුවිශේෂී වශයෙන් මත්තලට හා වරායට විගණනයක් අවශ්‍ය නැහැ. ඒ විගණනය සිද්ධ වෙනවා," බවයි, ඔහු පවසන්නේ.

හම්බන්තොට වරාය හා ගුවන් තොටුපලේ භාවිතය පිළිබඳ නැගෙන චෝදනාවට ප්‍රතිචාරය පළ කරන මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා: "මුලදී යම් අඩුවක් තිබුණා. අද වෙනකොට බලන්න හම්බන්තොට වාරයේ මෙහෙයුම් කොපමණ වෙලා තියෙනවද කියලා? කොච්චර නැව් ඇවිල්ල තියෙනවද කියල? මත්තලත් එහෙමයි. ගුවන් තොටුපලක් දාපු ගමන් එතනට එක පාරටම ගුවන් යානා එන්නේ නැහැ," යනුවෙන් ඔහු කියා සිටියේය.

පුහු විවේචන නොකොට ඵලදායක සහ සාධනීය ලෙසින් ආණ්ඩුවේ වැරදි විවේචනය කරන්නේ නම් රටේ ඉදිරි ගමනට විපක්ෂයටද සහභාගි විය හැකි බවයි, මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.