ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකා මිරර් අවහිර කිරීම ගැන 'සොයා බලනවා'

ශ්‍රී ලංකාවේ වෙබ් ග්‍රාහකයන්ට ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට පිවිසීම අවහිර කොට ඇති බවට එල්ල වන චෝදනාව පිළිබඳව සොයා බලා පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් විසින් සඳුදා සිට සිය වෙබ් අඩවියට පිවිසීම අවහිර කරනු ලැබ ඇති බව ශ්‍රී ලංකා මිරර් අඩවියේ කර්තෘ කැලුම් ශිවන්ත බීබීසී සංදේශයට පැවසීය.

Image copyright AP
Image caption 'මෙවැනි දෙයක් තිබෙනව නම් පුවත්පත් මණ්ඩලයට වුනත් යොමු කරන්න පුළුවන්'

සිය අඩවිය අවහිර කරන මෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇතැයි ඒ පිළිබඳව අන්තර්ජාල සමාගම්වලින් කළ විමසීමකදී සඳහන් කළ බවද කැලුම් ශිවන්ත කියා සිටියේය.

එවැනි අවහිර කිරීමක් පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව පවසන අමාත්‍යවරයා, කරුණු සොයා බලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන බව සංදේශයට කියා සිටියේය.

තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නේදැයි කළ විමසීමට ප්‍රතිචාරය පළ කරමින් අමාත්‍ය රඹුක්වැල්ල පැවසුවේ සොයා බලා පියවර ගන්නා බවයි.

සිය අඩවියට මෙසේ බාධා පැමිණුනේ ප්‍රථම වතාවට නොවන බව පෙන්වා දෙන වෙබ් අඩවියේ කර්තෘවරයා, එසේ බාධා කිරීම් නවත්වන මෙන් මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් දී තිබෙන බවද සිහිපත් කරයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට විදේශගතව සිටින බැවින් මේ පිළිබඳව ඔහුගෙන් විමසිය නොහැකි වූ නමුත්, අවහිර කිරීම පිළිබඳව කරුණු විමසමින් කොමිසමට ලිපියක් යවා තිබෙන බවද කැලුම් ශිවන්ත සඳහන් කළේය.

ජනාධිපතිවරයා, මාධ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ විපක්ෂනායකවරයා වෙතද එම ලිපියේ පිටපත් යොමු කොට තිබේ.

"මෙවැනි දෙයක් තිබෙනව නම් පුවත්පත් මණ්ඩලයට වුනත් යොමු කරන්න පුළුවන්. නමුත් එවැනි චෝදනාවක් ආවොත් අනිවාර්යයෙන්ම සොයා බලනවා," යනුවෙන්ද අමාත්‍ය රඹුක්වැල්ල සංදේශයට පැවසීය.