මළවුන් සිහි කිරීම තහනම් කිරීම 'වැරදියි'

Image caption 'නීතිය යටතේ මොනවා හරි කරන්න පුළුවන්. නමුත් ඒක මනුස්සකමට විරුද්ධ වීමක් කියල තමයි මම හිතන්නේ'

යුද්ධයෙන් මියගිය සෙබළුන්ට උපහාර පුදමින් දකුණේ ජනතාව යුද ජයග්‍රහණය සමරන අතරවාරයේ, මියගිය සිය ඥාතීන් සිහි කිරීමේ අයිතිය උතුරේ දෙමළ ජනතාවට අහිමි කිරීම බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

යුද්ධයේදී මියගිය පිරිස් සිය නිවෙස්වලදී සැමරීමට තහනමක් නැතත්, ඒ වෙනුවෙන් විශේෂ සමරු උත්සව පැවැත්වීම නීති විරෝධී බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසති.

විශේෂයෙන්ම මැයි 17 සහ 18 දිනවල කිසිදු සමරු උත්සවයයක් පැවැත්වීම තහනම් බව යුද හමුදාව යාපන විශ්ව විද්‍යාල බලධාරීන්ට දැනුම් දී තිබෙන බවද ආචාර්යවරුන්ගේ සංගමය පවසයි.

යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

'මනුස්සකම'

"මේක තහනම් කිරීම වැරදියි, නීත්‍යානුකූලව මෙහෙම තහනම් කරන්න අයිතියක් තියෙනවද කියලත් අපි දන්නේ නෑ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එම තහනම පනවා තිබෙන බවක් දැන ගැනීමට ලැබී තිබෙන බවද ප්‍රකාශකයා සඳහන් කළේය.

"ඒ නීතිය යටතේ මොනවා හරි කරන්න පුළුවන්. නමුත් ඒක මනුස්සකමට විරුද්ධ වීමක් කියල තමයි මම හිතන්නේ."

යුද ගැටුම්වලදී මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීම යනු ආණ්ඩුවේ හමුදාවලට එරෙහිව යුද වැදුණු එල්ටීටීඊ සාමාජිකයන් සිහිපත් කිරීමක් ලෙසින් අර්ථ දැක්වීම සම්පූර්ණයෙන්ම වැරදි බව යාපන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ අදහසයි.

යුද චාරිත්‍ර

"අපි කරන්නේ මියගිය අය සිහි කරන එක. ඉතින් ඒ කාලේ දහස් ගණන් මියගියේ සාමාන්‍ය මිනිස්සු," යනුවෙන්ද සංගමයේ ප්‍රකාශකයා සඳහන් කළේය.

කොටි සංවිධානයේ සාමාජිකයන්ව සිටියේ දෙමළ ජනතාවගේම දූ දරුවන් බැවින් ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් සිහිපත් කිරීමට අවස්තාව ලබා නොදීම ඉතා අසාධාරණ බවද ඔහු කියා සිටියේය.

"දැන් එයාල මැරිලානේ? සාමාන්‍යයෙන් යුද්ධයකදී මියගිය අයට මොකද කරන්නේ? ඔවුන්ට ගරු කරලා සිරුරු භාරදීම නේ කරන්නේ?," යනුවෙන් ප්‍රශ්න කරන ඔහු මියගියවුන්ට ගරු කිරීම සදාචාර සම්පන්න සමාජයක සාමාන්‍ය සම්ප්‍රදායයක් බවද සංදේශයට කියා සිටියේය.

එබැවින් මැයි මස 17, 18 දිනවල එයට අවස්ථාව නොලැබෙන්නේ නම් ඉන් පසු දිනයක ඔවුන් සිහිපත් කිරීමට තමන්ට සිදු වනු ඇති බවත් ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර