ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චතුර බුද්ධිකගේ සහ ජේසුදාසන්ගේ හඬ

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයෙන් වැඩියෙන්ම බැට කෑ කොටසක් වුනේ උතුරේ හා දකුණේ ජීවත් වූ තරුණ ප්‍රජාවයි.

2009 වසරේදී යුද්ධය අවසන් වී අදට වසර පහක් ගතවන මොහාතේ යුද්ධයෙන් පසු රටේ තත්වය පිළිබඳව උතුරේ හා දකුණේ තරුණයන් දෙදෙනෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාවක් බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමින්ට උදා විය.

ගාල්ල කොටු පවුර දෙසට පැමිණෙන දෙස් විදේශ සංචාරකයන්ට නිතරම මෙන් අසන්නට ලැබෙන සංගීතයක් එහි වාදනය කෙරෙමින් පවතී.

එම සංගීතය ඉතාම සිත්ගන්නා සුළු වූවකි.මෙයින් වසර පහකට පමණ පෙරත් බීබීසී මාධ්‍යවේදීන් කණ්ඩායමක් ගාල්ල කොටු පවුරට ලඟා වූ අවස්ථාවේත් කොටු පවුර පාමුල එම සංගීතය ඔවුන්ට අසන්නට ලැබුණි.

එය ගීත ගායනා කිරීම තම ජීවිකාව කර ගත් තරුණයකුගේ දුක් ගී රාවයයි.

මුහුදට පිම්මක්

මේ අතර ගාල්ල කොටු පවුර මතට පැමිණෙන දෙස් විදේශ සංචාරකයන්ට තම වීරත්වය පෙන්වා මුදල් උපයා ගන්නා පිරිසක්ද එහි සිටිති.

ඔවුන් කරන්නේ කොටු පවුර මත සිට මුහුදට ඉතා අවදානම් පිම්මක් පැන සංචාරකයන් සතුටු කරමින් ජීවිකාව උපයා ගැනීමයි.

ගාලු කොටු පවුර මතින් මුහුදට පිම්මක් පැනීම ජීවිකා වෘත්තීය කර ගත් තරුණයෙකි විසි අට හැවිරිදි චතුර බුද්ධික.

එක සංදර්ශන පිම්මක් සඳහා ඔහු විදේශීය සංචාරකයකුගෙන් ය කරන මුදල රුපියල් දෙදහසකි.

කොටු පවුරින් මුහුදට පැනීම වසර දහයක කාලයක් තිස්සේ සිය රැකියාව වූ බවයි, චතුර බුද්ධික පවසන්නේ.

"මේක මගේ රස්සාව. සංචාරකයෝ ආවම අපි ගිහිල්ල අහනවා පිම්මක් පනින්නද කියලා. සංචාරකයෝ කැමති නම් විතරයි පනින්නේ. අපි කාටවත් කරදර කරන්නේ නැහැ, කැමති නම් හැකියාව පෙන්නනවා" චතුර බුද්ධික කියන කතාවයි ඒ.

අවදානම් රැකියාවක්

මෙම අවදානම් සහගත රැකියාව තමන් තෝරා ගත්තේ වෙනත් රැකියාවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා බවයි, චතුර බුද්ධික පවසන්නේ.

" පනින කොට බයක් නම් හිතෙන්නේ නැහැ, ඒත් ඒක අවධානම් කියල දන්නවා. ගල උඩට වැටුනොත් ඔළුව කුඩු පට්ටම් වෙලා යාවි. වෙන ජොබ් එකක් නැති නිසා තමයි මේ වැඩේ කරන්නේ” ඔහු තමන් මුහුණ දී සිටින අවදානම මෙනෙහි කරයි.

"දවසක් බදාම ඇනුවත් හම්බ වෙන්නේ රුපියල් දාහක් විතරයි. ඒක මදි දැන් ජිවත් වෙන්න. අපට කොහෙන්වත් ආණ්ඩුවෙන්වත් සහයෝගයක් නැහැ" චතුර බුද්ධික ගේ හඬයි ඒ.

චතුර බුද්ධිකගේ කොන්ඩ මෝස්තරය ක්‍රිකට් ක්‍රීඩක ලසිත මාලිංගට සමානයි. යුද්ධය අවසන් වීමත් සමග සංචාරකයන්ගේ පැමිණීම ඉහල ගියත් තම ආදායම ඉහල නො ගිය බවයි ඔහු පවසන්නේ.

" යුද්ධය ඉවර වුන එක ගැන ගොඩාක් සතුටුයි, යුද්ධය තියෙන කාලයට වඩා දැන් විදේශිකයෝ එනවා, එනිසා අවුලක් නැහැ. අපට හම්බ වුනේ නැති වුනත් තව මිනිස්සු ඔවුන්ගෙන් හම්බ කර ගන්නවා"

එසේ පවසන මුහුදු පනින්නා යුද්ධය අවසන් වී ගත වූ වසර පහ ඇතුළත රට තුල සිදු වූ සංවර්ධනය ගැන තමන් සතුටු වන නමුත් අත්‍යවශ්‍ය ආහාර පාන ආදියේ මිල වැඩි වීම ගැන සිය කණස්සල්ල පළ කළේය.

තමන්ට තවමත් උතුරු පලාතේ සංචාරය කිරීමට නොහැකි වූ බව පැවසූ චතුර බුද්ධික එහෙත් ගාල්ලට පැමිණෙන දමිළ සංචාරකයන්ගෙන් තමා එම ප්‍රදේශයේ තත්වය පිළිබඳව තොරතුරු හුවමාරු කරගන්නා බවයි සඳහන් කළේ.

උතුරින් පණිවුඩයක්

දකුණේ චතුර බුද්ධික ඔහුගේ කතාව කියද්දී යුද්ධයේ දරුණතම සටන් පැවති මුලතිව්හි ජීවත් වන විසිතුන් හැවිරිදි ඉරුලප්පන් ජේසුදාසන්ගෙන් යුද්ධය අවසන් වී වසර පහක් ගත වන මොහොතේ උතුරේ තත්වය ගැනයි බීබීසීය විමසා සිටියේ.

මුලතිව් නගරයේ යතුරු පැදි වැඩපොළක් කුඩා පරිමාණයෙන් පවත්වා ගෙන යන ඉරුලප්පන් ජේසුදාසන් බීබීසී මාධ්‍යවේදීන් එම නගරයට යන විටත් සිය වැඩපොළේ යතුරු පැදි අලුත්වැඩියා කරමිනුයි සිටියේ.

යුද සමයේ එල්ලවූ ෂෙල් ප්‍රහාරයකින් ජේසුදාසන්ගේ වැඩිමහල් සහෝදරිය මරණයට පත්ව ඇති අතර ඔහුට ද තුවාල සිදු වී ඇත. සිය පියා අහිමි හතර දෙනෙකුගෙන් යුත් පවුල රැක ගැනීම තමන්ට පැවරී ඇති බව පවසන ජේසුදාසන් අවුරුදු දෙකක් කුලී වැඩ කර එකතු කළ මුදලින් මෙම වැඩපළ ආරම්භ කළ බවත් තම තනි ශ්‍රමයෙන් එය පවත්වා ගෙන යන බවත් කියා සිටියේය.

" රුපියල් 70,000ක් යොදලා මස දෙකකට පෙර මේක ආරම්භ කළා. රුපියල් 3,500 ක් කුලිය ගෙවන්න ඕන. තාම හරි ආදායමක් නැහැ, තව ටික දවසක් බලල වහලා දානවා" ජේසුදාසන් පවසයි.

යුද්ධයේ දී තමන් ඇතුළු පිරිස මුහුණදු න් සිදුවීම ගැන කතා කිරීමට මැලි කමක් දැක් වූ ජේසුදාසන්, යුද්ධයෙන් පසු මුලතිව් ඇතුළු උතුරු ප්‍රදේශයේ සිදු වී ඇති සංවර්ධනය ගැන සිය සතුට පළ කළේය.

"පාරවල් හොඳට හදල තියෙනවා, භෞතික සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඒවායින් අපේ මිනිසුන්ට එතරම් පලක් නැහැ. ගොඩක් අය දුක් විදිනවා" යයි ද ඔහු කියා සිටියි.

යුද්ධයේ දේශපාලනය

තමාට යතුරු පැදි වැඩපොළක් ඇතත් දිනකට කිලෝ මීටර් හයක් පමණ දුරක් සාමාන්‍ය පාපැදියකින් නිවසට යා යුතුව ඇති බව පවසන ජේසුදාසන් තමන්ට කියා මෝටර් සයිකලයක් ලබාගැනීමට ශක්තිය නැති බවයි පවසන්නේ.

එය උතුරේ ජිවත් වන බොහෝ තරුණයන්ගේ තත්වය බවත් ඔහු පෙන්වා දෙයි. එහෙත් සමස්තයක් වශයෙන් උතුරේ ඇති සාමකාමී වටපිටාව ගැන ඔහු සිය ප්‍රසාදය පළ කරයි.

දේශපාලනය ගැන තමන්ට කිසිම උනන්දුවක් නැති බව පවසන මෙම ඉරුලප්පන් ජේසුදාසන්, යුද්ධයක් ඇතිවීමට ප්‍රධානතම හේතුව උතුරේ හා දකුණේ දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය බවයි අවධාරණය කළේ.