මෝඩිට සුබ පතන දෙමළ ජාතික සන්ධානය

තේරී පත්ව සිටින ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ධනාත්මක විසඳුමක් සෙවීමට උත්සාහ දරනු ඇතැයි දෙමළ ජනතාවගේ බලාපොරොත්තුව බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බීබීසී දෙමළ සේවයට පැවසුවේ දෙමළ ජනතාව නරේන්ද්‍ර මෝඩිගේ ජයග්‍රහණයට සුබ පතන බවයි.

භාරතීය ජනතා පක්ෂය නියත බහුතරයක් ලබා ජයග්‍රහණය කර ඇති බවත් එසේම තමිල්නාඩුවේ ජයලලිතා ජයරාම් ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයත් විශිෂ්ට ජයක අත් කර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් ජයලලිතාගේ පක්ෂය යෝජනා කිහිපයක්ම ගෙනවිත් ඇති බවයි ඔහු පැවසුවේ.

ධනාත්මක විසදුම්

මෝඩි රජය තමිල්නාඩුවේ ජයලලිතා ආණ්ඩුව සමඟ මිත්‍රශීලීව කටයුතු කොට දෙපාර්ශවයම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධ ප්‍රශ්නවලට ධනාත්මක විසදුම් ගෙන ඒමට පියවර ගනු ඇතැයි ඔහු විස්වාශය පළ කළේය.

ඉන්දීය මධ්‍යම රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ඔවුන් උත්සාහ දරනු ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේ.

“මේක තමයි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේත් අපේක්ෂාව. දෙමළ ජනතාවයි දෙමළ ජාතික සන්ධානයයි ඔහුට සුබ පතනවා .” පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් ප්‍රකාශ කළේය.