උතුරේ පින්කම්වලටත් 'අවසර නෑ'

Image caption මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කිරීම මේ පිංකමේ අරමුණ බව සංවිධායකයෝ පවසති

ශ්‍රී ලංකාව තුල දශක තුනකට අසන්න කාලයක් පැවති යුද්ධය නිසා මිය ගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරණු පිණිස යාපනේ කීරමලේ කෝවිලෙහි සංවිධානය කර තිබු දානමය පිංකම හමුදාවේ සහ පොලිසියේ මැදිහත් වීමෙන් නවතා දැමු බව සංවිධායකයෝ පවසති.

යුද්ධයෙන් මිය ගිය එල්ටීටීඊ සාමාජිකයින් සිහි කිරීමේ අරමුණින් මෙම දානමය පින්කම සංවිධානය නොකළ බව අවධාරණය කරන සංවිධායකයන් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට පූර්ව දැනුම් දීමක් කර තිබියදී එය නවතා දැමීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි වැඩි දුරටත් පවසන්නේ.

පින්කමේ ප්‍රධාන සංවිධායක ටී තන්ගරාසා බීබීසී සංදේශය වෙත අදහස් දක්වමින් පැවසුවේ මුලතිවු සහ මුල්ලිවයික්කාල් ප්‍රදේශ වල මිය ගිය සාමාන්‍ය වැසියන් සිහිපත් කිරීම පිණිස මේ පිංකම සංවිධානය කළ බවයි.

එහෙත් පින්කමට සහභාගී වීමට කිසිවෙකුටත් කීරිමලේ ප්‍රදේශයට යාමට අවසර නොලැබුන බවද ඔහු පැවසීය.

'ත්‍රස්තවාදීන් සැමරීම'

හමුදාව හා පොලිසිය එක්ව යාපනයේ පින්කම් හා සැමරුම් කිසිවක් සංවිධානය කර නොමැති ස්ථානවලට යාමට පවා යාපනේ වැසියන්ට ඉඩ නොදුන් බව උතුරු පළාත් සභා සභාපති සී වී කේ ශිවඥානම් පැවසුවේය.

හමුදා භටයින් එම ප්‍රදේශයේ සිටි බවත් එම ප්‍රදේශ අධි ආරක්‍ෂිත කලාප වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව හමුදාව ඔහුට පැවසූ බවත් පළාත් සභා සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

මේ පිළිබඳ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේ සාමාන්‍ය පුද්ගලයින් සිහිකර පින් අනුමෝදන් කිරීමට කිසිවෙකුගෙන් බාධාවක් නැති බවයි.

නමුත් යුද්දය අවසන් වූ මැයි 18 සහ 19 යන දෙදින තුල උතුරේ වැසියන් සමරන්නේ යුද්දයෙන් මිය ගිය පුද්ගලයින් හෙවත් ත්‍රස්තවාදීන් බවයි ඔහු සංදේශයට පැවසුවේ.

ත්‍රස්තවාදීන් සැමරීමට සදාචාර සම්පන්න ලෝකයේ කිසිම ඉඩක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පිරිසක් වවුනියාව සිත්ති විනයාගර් කෝවිලේදී යුද්දයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කර පහන් දල්වා විශේෂ දේශනයක් පැවැත්වූ බව දිනසේන රතුගමගේ වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර