'වමේ එකමුතුවක් වහා අවශ්‍යයි'-දයාන් ජයතිලක

  • අජිත්ලාල් ශාන්ත උදය
  • බීබීසී - රත්නපුර ප්‍රාදේශීය වාර්තා කරු

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රජය පවුල් වාදයෙන්, ආගම් වාදයෙන් සහ යුද වාදයෙන් මුදවා ගැනීමට ආණ්ඩුවෙ සිටින සැබෑ ප්‍රගතිශීලි වාමාංශික මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ එකමුතුවක් වහා අවශ්‍ය බව ආචාර්ය දයාන් ජයතිලක අවධාරණය කරයි.

දාහ අට වන දා රත්නපුර නගර ශාලාවේ දී පැවති කලවාන හිටපු කොමියුනිස්ට් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම විසි අට වන ගුණ සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය දයාන් ජයතිලක මෙසේ පැවසුවේය.

බැටළු හම්

වත්මන් ආණ්ඩුවෙ සිටින වාමාංශික සහ ප්‍රගතිශීලි කොටස් මේ වන විට යටපත් ව ඇති බව පැවසූ ආචාර්යවරයා

ඡායාරූප ශීර්ෂ වැකිය,

'සැබෑ වාම බලවේග පැත්තකට වී සිටින්නේ ඇයි ද යන්න ජනතාවට ගැට‍ළුවක්'

‘’අන්තවාදී, ආගම්වාදී, යුදවාදී, බැටළු හම් පොරවා ගත් ප්‍රතිගාමීන් අද රූපවාහිනිය හරහා සම්මන්ත්‍රණ හා සම්මේලන තියමින් රාජ්‍ය නිලධාරීන් සමග රහස් සහ නොරහස් සාකච්ඡා පවත්වමින් පවුල්වාදය ඉස්මතු කරමින් කටයුතු කරද්දී සැබෑ වාම බලවේග පැත්තකට වී සිටින්නේ ඇයි ද යන්න ජනතාවට ගැට‍ළුවක් ’’ යනුවෙන් වැඩි දුරටත් කියා සිටියේය.

එකතුවක්

වාමාශික පක්ෂ සියල්ල එකතු වීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ආචාර්ය දයාන් ජයතිලක

‘’අද ජනතා විමුක්ති පෙරමුණ යම් නැගිටීමක පවතිනවා. ශ්‍රී ලාංකේය ජාතියක අනන්‍යතාව රැක ගැනීමට එම පක්ෂය ඇතුළු සියලු වාම බලවේග එකතු වෙලා තනි වමේ විකල්පයක් ඉදිරිපත් කර, ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම ඇතුළුව රටට ජනතාවට සැබෑ ස්වාධීනත්වයක්, විමුක්තියක් ඉෂ්ට කිරීමේ අභියෝගයට කර ගැසිය යුතු වෙලාව ඇවිත් ද නැද්ද යන්න ප්‍රගතිශීලි වම සිතිය යුතු ව තියන මොහොතක්’’ යයි වැඩි දුරටත් පැවසුවේය.