පළමු විස්සයි විස්ස තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Image copyright AFP

ශ්‍රී ලංකා පිල එංගලන්තයට එරෙහිව ලකුණු නවයක ජයක් වාර්තා කරමින් එංගලන්ත සංචාරයේ පළමු විස්සයි විස්ස තරඟය ජය ගත් හ.

සුප්‍රකට ඕවල් පිටියේ පැවති මෙම තරඟයේ දී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු හතක් දැවී ලකුණු 183 ක් ලබා ගත්හ.

අවසන් පන්දු වාර පහේ දී විශිෂ්ට පිති හරඹයක යෙදුන ශ්‍රී ලංකා පිල එම පන්දු වාර පහේ දී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 61 කි.

පන්දු විස්සක දී ලකුණු 49 රැස් කිරීමට තිසර පෙරේරා සමත් වූ අතර එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු 66 ක් රැස් කිරීමට ඇලෙක්ස් හෙල්ස් සමත් විය.

ලකුණු 28 කට කඩුලු තුනක් දවා ගත් ලසිත් මාලිංග ගේ දක්ෂ පන්දු යැවීම එංගලන්ත පිලේ පරාජය තහවුරු කල බවයි විචාරකයෝ පවසන්නේ.

දුර්වල පන්දු යැවීම නිසා තම පිල පරාජයට පත් වූ බවයි එංගලන්ත පිලේ නායක ඔයෙන් මෝර්ගන් ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍යයේ දෙමළ තරුණ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක් තරඟය පැවති ඕවල් ක්‍රීඩාංගණය ඉදිරිපිට සංවිධානය කර තිබුණි.