හදවත් රෝගියාට වෛද්‍යවරයෙකුගෙන් පා පහරක්

හදවත් රෝගියෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සීමාවාසික වෛද්‍යවරයෙකුට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ කපිල කන්නන්ගර ප්‍රකාශ කරයි.

ඖෂධ ගන්නා වට්ටෝරු පොත පැය දහයක් යන තුරුත් ලබා නො දීම නිසා අපහසුතාවයකට පත් හදවත් රෝගියෙක් ඇඹිලිපිටිය මුලික රෝහලේ කොරිඩෝවක වැතිර විරෝධතාවක නිරත වී ඇත.

එම අවස්ථාවේ දී සීමාවාසික වෛද්‍යවරයෙක් එම රෝගියාට පයින් පහර දුන් බවයි වාර්තා වන්නේ.

කොළොන්න, නවනැලියේ සූරිය දිසානායක දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව යාමට නියමිත ව සිටියත් මාස්පතා හදවත් සායනයෙන් ප්‍රතිකාර ගන්නා විට නිකුත් කරන ඖෂධ වට්ටෝරු පොත ඔහුට ලැබී නොමැත.

උදේ සිට රාත්‍රී හත වනතුරු සිටියත් ඖෂධ සටහන් වට්ටෝරු පොත නොදුන් නිසා ඒ ගැන විමසූ අවස්ථාවේ සීමාවාසික වෛද්‍යවරයෙක් “තමුසෙලට ඕනෑ ඕනෑ වෙලාවට පොත ලියන්න බෑ. දැන් ගිහිල්ල පොත අරන් යනවා කියා බැන වැදුනා”යැයි සුරිය දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේය.

ඉන් පසු රෝහල් කොරිඩෝවේ වැතිර විරෝධයක් ගෙන ගිය සූරිය දිසානායකට දොස්තරවරයෙක් පහර දුන් බවට ඔහුගේ පවුලේ සාමාජිකයෙක් විසින් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

රෝහල් අධ්‍යක්‍ෂ අනුජ රොඩ්රිගු කියා සිටියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය සමථයකට පැමිණි බවයි.

මෙය සාමාන්‍ය සිදුවීමක් නොවන බව පවසන සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ කපිල කන්නන්ගර සීමාවාසික දොස්තරවරයෙකු මෙම පහරදීමට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි ද සඳහන් කළේය.

මේ සම්බන්ධව විනය පියවර ගන්න බව ප්‍රකාශ කල ඔහු වෛද්‍ය සභාවට ද ඒ ගැන දැනුම් දෙන බවත් කියා සිටියේය.