‘කුරාම් ෂයික් නඩුවේ අත්‍යවශ්‍ය ඡායාරූප විනාශ වෙලා’- අධිකරණ වෛද්‍ය නිලධාරිනිය

Image caption සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අධිකරණයට ගෙන එමින්.

තංගල්ල අසල හෝටලයකදී දූෂණයට ලක් කෙරුණ රුසියානු ජාතික වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නාගේ සිරුරේ තිබුණ වාර්තා කළ යුතු මට්ටමේ තුවාල පිළිබඳව සටහන් කිරීමට නොහැකි වූයේ තමකාර්යාලයේ තුවාල තොරතුරු ඇතුළත් කෙරෙන රූප සටහන් පත්‍රිකා නොතිබූ නිසා යැයි ගාල්ල කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණිය ප්‍රකාශ කළාය.

කුරම් ෂයික් ඝාතන නඩුව බදාදා විභාගයට ගත් අවස්ථාවේ විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනුයි කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිණි දම්මි ලුවිස් හේවා එම අදහස් ප්‍රකාශ කළේ.

තුවාල රූප සටහන් නැහැ

වෛද්‍යවරිය වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් කියා සිටියේ, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා නමැති රුසියානු කාන්තාවගේ සිරුරේ තුවාල නවයක් තමන් නිරීක්ෂණය කල බවයි.

ඒවා මොට ආයුධ වලින් පහර දීමෙන් සහ සැපීම නිසා ඇතිවූ තුවාල බවයි ඇය කියා සිටියේ.

දූෂණයට ලක් වූ වික්ටෝරියා නමැත්තියගේ යෝනි ප්‍රදේශයේ තිබුණ තුවාලයක් පිළිබඳව අවසන් වෛද්‍ය වාර්තාවේ සඳහන් කර නොමැත්තේ කුමක් නිසාදැයි විත්තියේ නීතිවේදියා ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් සාක්‍ෂිකාරිය කියා සිටියේ තම රෝහල් කාර්යාලයේ තුවාල

පිළිබඳව සටහන් යොදන රූප සටහන් පත්‍රිකා නොතිබූ නිසා අදාළ තුවාලය පිළිබඳව සටහනක් නොයෙදූ බවයි.

පරිගණකයට වයිරස්

වික්ටෝරියා නමැත්තියගේ සිරුරේ දක්නට ලැබුණ තුවාල ඡායාරූප ගත කර ඒවා තම කාර්යාල පරිගණකයේ ආරක්ෂිතව තබා තිබුණ බව සඳහන් කළ අධිකරණ වෛද්‍ය නිලධාරිණි දම්මි ලුවිස් හේවා,එහෙත් පරිගණකයට වයිරස් ඇතුළු වීම නිසා එය ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාළ ඡායාරූප විනාශ වූ බවයි කියා සිටියේ.

පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස 24 වනදා තංගල්ල නිවාඩු නිකෙතනයකදී කුරාම් ෂයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින අතර සෙසු සැකකරුවන් ඇප මතමුදා හරිනු ලැබ ඇත.

වැඩිදුර සාක්කි විභාගය බ්‍රහස්පතින්දාට කල් තබනු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර