ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද්ධය නිම වීමෙන් පසු දකුණේ සිට උතුරට

යුද්ධය නිමා වීමෙන් පස් වසරකට පසු ශ්‍රී ලංකාවේ වත්මන් ජන ජීවිතය සම්බන්ධයෙන් බී බී සී මාධ්‍යවේදි චාර්ල්ස් හැව්ලන්ඩ් ඉදිරිපත් කරන වාර්තාවක් දකුණේ සිට උතුර දක්වා ලංකාවේ විවිධ මට්ටම් වල මිනිසුන්ගේ ජීවිත වලට අවධානය යොමු කර ඇත.

හැතැක්ම 300ක් වූ මෙම චාරිකාව ආරම්භ කරමින් දකුණේ ජනයාගෙන් අදහස් විමසු චාර්ල්ස් හැව්ලන්ඩ්ට ඔවුන් පවසා සිටියේ යුද්ධය නිමා වීම රටට ආශීර්වාදයක් වන නමුත් රට පුරා පැතිරෙන ආගම්වාදී හා ජාතිවාදී මත ගැටුම් හේතුවෙන් සියලු දෙනාට නිදහසේ සතුට විඳීමට නොහැකි වී ඇති බවයි.

තව දුරටත් තම අදහස් පළ කළ දකුණේ ජනතාව, රජය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ තම අප්‍රසාදය පළ කර සිටියහ.

මෑත කාලීනව ඇතිවූ මෙවැනි ගැටුම් කීපයකට මුහුණ දුන් විවිධ ජාතීන් බී බී සී යට ප්‍රකාශ කර සිටියේ යුධ කාලයේ දී පවා සාමකාමී ව පැවති තම පෙදෙස් වල ආගම් සහ ජාතිවාදී ගැටුම් හේතු කොට ගෙන සාමය සහජීවනයට තර්ජන එල්ල වෙමින් පවතින බවයි.

උතුරේ ජනතාව වෙනුවෙන් හඬ අවදි කල යුද්ධයෙන් තම පවුල් අහිමි වූවන් තම අඳුරු මතකය විස්තර කරමින් පවසා සිටියේ තවමත් යුද්ධයේ අමිහිරි ප්‍රතිවිපාක තමන් අත් විඳින බවයි.

යුද්ධය නිසා තම නිවෙස් හැර ගිය අය යුද්ධයෙන් පසු තම නිවෙස් කරා ආපසු පැමිණියත් තම පවුල් වල සාමාජිකයින් බොහොමයක් ෂෙල් ප්‍රහාර වලින් මිය ගොස් ඇති බැවින් තනිව සිටිති.