මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව පහතට

Image copyright gov.lk
Image caption මෙම කාර්තුව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිවයි

මෙම වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සංඛ්‍යාව පහත වැටී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තා පෙන්වා දෙන පරිදි මෙම වසරේ මුල් කාර්තුව තුළ ඉදිරිපත් වූ මුළු පෙත්සම් සංඛ්‍යාව 103 කි.

එහෙත් 2013 වසරේ එම සංඛ්‍යාව 117 ක් වූ බවයි එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙම කාර්තුව තුළ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිවයි.

මෙම අඩු වීම පිළිබඳව කරුණු පහදන ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ නීතිවේදීන්ගේ සංගමයේ කැඳවුම් කරු නීතිවේදී ලාල් විජේනායක පවසන්නේ අධිකරණ ක්‍රමය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීම මීට ප්‍රධාන හේතුවක් බවයි.

'ජනතා සැකය'

‘රජය මේ වන විට අධිකරණ ක්ෂේත්‍රයේ පත් කිරීම්, උස්සස් වීම් ලබා දීම වැනි කටයුතු වලට කෙලින්ම මැදිහත් වන තත්වයක් තිබෙනවා. මේ නිසා අධිකරණ ස්වාධිනත්වය පිළිබඳව මහජයා තුළ හටගෙන තිබෙන්නේ සැකයක්’ යනුවෙන් සඳහන් කළ නීතිවේදී ලාල් විජේනායක මේ හේතුවෙන් සේවාදායකයින් රජයට එරෙහිව නඩු පැවරීමට බිය පළ කරන බවද කියා සිටියේය.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා පවසන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව රාජ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් හොඳින් දැනුවත්ව සිටීම මිට ප්‍රධාන හේතුව බවයි.

‘මේ චෝදනා පිළිගන්න බැ. අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය පිළිබඳව පවතින මහජන විශ්වාසය කඩවීමක් සිදුවී නැහැ. පහළ උසාවිවල ඇතැම් අඩුපාඩු සිදුවී තිබුනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එවැනි තත්වයක් නැහැ’ යනුවෙන් සඳහන් කළ ඔහු හදිසි නීතිය අහෝසි කර තිබීම ද තවත් හේතුවක් බවයි කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර