විග්නේශ්වරන් ජනපති ඇරයුම බැහැර කරයි

Image copyright president.gov.lk
Image caption මහඇමති විග්නේශ්වරන් පදවියේ දිව්රුම් දෙමින්

ඉන්දියාවේ නව අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ලබන සඳුදා පදවියේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගී වෙන ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට එක් වෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ආරාධනය පිළිගත නොහැකි බව උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී.විග්නේශ්වරන් පවසයි.

විදේශ ඇමති ජී.එල්.පීරිස් විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ආරාධනය සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන මහඇමතිවරයා, ඒ පිළිබඳව සිය කෘතඥතාවය පළ කරමිනුයි තමාට ඊට සහභාගී විය නොහැකි බව දැනුම් දී තිබෙන්නේ.

විදේශ ඇමති මහාචාර්ය ජී.එල්.පීරිස් වෙත සිය තීරණය ලිපියකින් දැනුම් දෙන මහඇමතිවරයා එම කාරුණික ඉල්ලීම භාර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර ඇත.

යුද හමුදාව රැඳී සිටීම

උතුරු පළාත් සභාවට පැවරෙන කටයුතු අසාර්ථක තත්වයක පවතින අතරවාරයේ යුද හමුදාව දිගින් දිගටම ප්‍රදේශයේ රැඳී සිටීම නිසා මහජනතාව බිය ජනක පරිසරයකට තල්ලු කර ඇති වාතාවරණයක් පවතිද්දී ඉහත කී ආරාධනය භාර ගනු ලැබීම මගින් මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභාව අතර ශක්තිමත් සහයෝගීතාවයක් ඇති බවක් පෙන්නුම් කෙරෙන බවයි මහඇමති විග්නේශ්වරන් ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා නමට යොමු කරනු ලැබ ඇති ලිපියේ දැක්වෙන්නේ.

ඉහත කී වාතාවරණය යටතේ එවැනි ආරාධනයක් භාර ගනු ලැබීම මගින් වරදක් කරන ලද බවට තමා තුළ හැඟීමක් ඇති වනු ඇතැයි ද මහඇමතිවරයා සිය ලිපිය මගින් කියා සිටියි.

කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවේ නව අගමැතිවරයාට තම ශුභ පැතුම් දැනටමත් යොමු කරනු ලැබ ඇති බවත් මහඇමති විග්නේශ්වරන් පවසයි.

ඉන්දීය අගමැතිවරයාගේ දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපතිවරයා සමඟ යන දූත මණ්ඩලය සමඟ උතුරු පළාත් මහා ඇමති සී.වී.විග්නේස්වරන් සහභාගිවීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවයි උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ.සිවඥානම් ප්‍රකාශ කළේ.

රජය උතුරු පළාත් සභාවට ලබා දිය යුතු සහය ලබා නොදෙන බව පවසන ඔහු උතුරු පළාත් සභාවට මුදල් ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම් වලට පිළිතුරු පවා ලැබී නැති බව තවදුරටත් ප්‍රකාශ කළේය.

සංහිඳියාව

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව අතර සංහිඳියාව ඇතිකර ගැනීම අතින් තවමත් කිසිඳු එකඟතාවක් නැතැයි යන පණිවුඩය අලුතින් පත්වන ඉන්දීය රජයට ලබා දීමේ ඉඟියක් හැටියට උතරු පළාත් මහා ඇමතිවරයාගේ තීරණය හැඳින්විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයකු වන ප්‍රංශ පුවත් සේවයේ කොළඹ වාර්තාකරු අමල් ජයසිංහ පවසන්නේ.

අලුතින් පත්වූ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව තුලින් තමන්ට යම්කිසි වැඩි වාසියක් අත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය තවමත් බලාපොරොත්තුවක බව ඔහු සඳහන් කරන්නේය.

ජනාධිපතිවරයාගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම එහි අතුරුඵලයක් හැටියට දැකිය හැකි බවයි ඔහු කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර