සෝමාලියානු පාර්ලිමේන්තුවට ප්‍රහාරයක්

Image copyright BBC World Service

සෝමාලියාවේ ‘මොගඩිෂු’ අගනුවර පාර්ලිමේන්තුවට එල්ල කෙරුණ ප්‍රහාරයේ වගකීම අල්කයිඩා ජාලයට සම්බන්ධ ‘අල් ෂබාබ්’ ඉස්ලාමීය කැරලිකරුවන් විසින් භාර ගනු ලැබ ඇත.

එම ප්‍රහාරයේදී අඩු තරමින් පහළොස් දෙනකුවත් මරණයට පත් වූ බව ප්‍රකාශයට පත් කෙරිණ.

ඇතුල් වීමේ දොරටුව අසලදී බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අනතුරුව සන්නද්ධ තුවක්කු කරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුන බවයි, එහි සිටි පුද්ගලයන් පවසන්නේ.

පළමු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව පාර්ලිමේන්තු භූමියෙන් වෙඩි හඬ ඇසෙන්නට පටන් ගත් බවත් ඔවුහු පවසති.

මන්ත්‍රීවරුන්ට රැකවරණ

Image copyright AFP

ප්‍රහාරය එල්ල වෙද්දී සභාගැබේ රැස් වෙමින් සිටි මන්ත්‍රීවරුන් ඉන් ඉවත් කර ගෙන ඇත.

එහෙත් එක දේශපාලනඥයකුට තුවාල සිදු වූ බවත් වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව අසල මුස්ලිම් පල්ලියක වහලේ සිට ප්‍රහාරකයන් වෙඩි තැබීමත් සමඟ සටන දිග්ගැසුන බවයි එක් මන්ත්‍රී වරයෙක් බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

අප්‍රිකානු සංගමයේ හමුදා සහ සෝමාලි ජාතික හමුදා භටයන් පාර්ලිමේන්තු භූමියේ නිරත කරනු ලැබ ඇති අතර අප්‍රිකානු සංගමයේ හමුදා ප්‍රකාශක කර්නල් අලි හුමාඩ් ප්‍රහාරය හෙලා දැක ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර