සිංහල ජනතාව පදිංචි කිරීම 'දේශපාලන වාසි උදෙසා'

Image caption දකුණේ සිංහල පවුල් එක්දහස් දෙසීය අටක් මන්නාරම මුසලි ප්‍රදේශයේ පදිංචි කිරීමට විරෝධය

දකුණේ සිංහල පවුල් එක්දහස් දෙසීය අටක් මන්නාරම මුසලි ප්‍රදේශයේ පදිංචි කිරීමට රජය ගෙන ඇති තීරණයට දෙමළ ජාතික සන්ධානය මෙන්ම රජයට සම්බන්ධ මුස්ලිම් මන්ත්‍රීවරුන්ද විරෝධය පළ කරති.

දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් බීබීසී සංදේශයට කියා සිටියේ උතුරේ සිටි පාරම්පරික සිංහල වැසියන් යළි පදිංචි කිරීම පිළිබඳ කිසිදු විරෝධතාවක් නැතත් රජය බලහත්කාරයෙන් උතුරු පළාතේ සිංහල ජනාවාස ඇති කිරීම කෙරෙහි තම පක්ෂය විරුද්ධ වන බවයි.

දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් අදහස් පළ කරමින්: ''අපි සිංහල වැසියන්ට හෝ මුස්ලිම් වැසියන්ට විරුද්ධ නැහැ. ඔවුන් අපිත් එක්ක ඉන්න සහෝදරයෝ. නමුත් දෙමළ වැසියන් සිටින පළාත්වලට දකුණෙන් සිංහල වැසියන් ගෙනත් බලහත්කාරයෙන් පදිංචි කරලා සිංහල ගම්මාන හදන්නේ දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමේ අරමුණින්. මේකට අපි විරුද්ධයි," යනුවෙන්ද වැඩිදුරටත් සඳහන් කළේය.

මුස්ලිම් විරෝධය

යුද්ධයෙන් විපතට පත් දෙමළ වැසියන් යළි පදිංචි කර වීමට මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසන රජය යුද්ධයෙන් විපතට පත් නොවූ සහ මන්නාරමේ කිසිම දිනක පදිංචිව නොසිටි පිරිස් පදිංචි කර වීමට රුපියල් කෝටි පනස් හයක් තරම් විශාල මුදලක් වැය කරන බවටද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

මුස්ලිම් වැසියකු වශයෙන් සිංහල වැසියන් මන්නාරමේ පදිංචි කර වීම පිළිබඳව විරුද්ධත්වය ප්‍රකාශ කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උවයිස් ෆාරුක්: ''මන්නාරමේ පෙර සිටි මුස්ලිම් වැසියන් එල්ටීටීඊ ය විසින් පලවා හැරියා. ඔවුන් දැන් මන්නාරමේ පදිංචියට එන කොට බොහෝ දෙනෙක් කියන්නේ මුස්ලිම් ඡන්ද වැඩිකර ගන්නට පුත්තලමේ සිටින මුස්ලිම් වැසියන් මන්නාරමට ගේනවා කියලයි," යනුවෙන්ද පැවසීය.

"නමුත් ඇත්ත තත්ත්වය එදා මන්නාරම හැර දාලා ගිය මුස්ලිම් වැසියන්ගේ අළුත් පරම්පරාව තමයි මේ එන්නේ. එහෙම කියද්දී කවදාවත් මන්නාරමේ හිටිය නැති සිංහල පිරිසක් ගෙනැවිත් පදිංචි කරන එකට අපි ආණ්ඩුව එක්ක හිටියත් මුස්ලිම් වැසියන් විදිහට විරුද්ධයි,'' යනුවෙන්ද උවයිස් ෆාරුක් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

නමුත් මන්නාරම දිසාපති එම්වයිඑච් දේශප්‍රිය කියා සිටියේ රජය මේ සිදු කරන්නේ සිංහල වැසියන් මන්නාරමේ බලහත්කාරයෙන් පදිංචි කිරීමක් නොවන බවයි.

''එක්දහස් නවසීය අසු එක වර්ෂයට පෙර මන්නාරමේ සිංහල වැසියන් අටදහසක් පමණ සිටි බව සංඛ්‍යා ලේඛන තුළ සඳහන් වෙනවා. ඔවුන් යුද්ධය නිසා වරින් වර මන්නාරමට නුදුරින් පිහිටි මැදවච්චිය අනුරාධපුරය වගේ පළාත් වලට ගිහින් තියනවා. මේ අය දැන් යළි පදිංචි වීම සඳහා ලියාපදිංචි වෙලා මන්නාරමට පැමිණෙමින් සිටිනවා," බවයි දිසාපතිවරයා පවසන්නේ.

"මේ අයගේ මුල් ඉඩම් සෙවීම අසීරු නිසා ඔවුන්ට කොහෙන් හරි ඉඩම් දෙන්න අවශ්‍යයි. ඒක රජයේ වගකීමක්. ඉතින් මන්නාරමේ කලින් පදිංචි වෙලා හිටිය දෙමළ සහ මුස්ලිම් වැසියන් පදිංචි කිරීමේ කටයුතු අවසන් නිසා දැන් සිංහල පවුල් පදිංචි කිරීම රජය මගින් අරම්භ කරලා තිබෙනවා,'' යනුවෙන්ද සඳහන් කළ මන්නාරම දිසාපතිවරයා මන්නාරමේ වාසය කළ ඕනෑම අයෙකුට මේ වන විට ආපසු පැමිණ පදිංචි වීමට කිසිදු බාධාවක් නැතැයිද වැඩි දුරටත් පවසා සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර