දඬුවම ඉවරයි, ඒත් 'තවමත් සවුදි හිරගෙදර'

Image caption 'ශ්‍රී ලංකා රජයෙන් මේ වන තුරු මට සහනයක් ලැබිල නැහැ'

වසර හයකට බන්ධනාගාරගත කෙරුණු තමා, වසර හතකට වැඩි කාලයක් සවුදි අරාබියේ බන්ධනාගාරයක රඳවා තබාගෙන සිටින බව ශ්‍රී ලාංකික සිරකරුවෙක් පවසයි.

රඹුක්කන වාසියකු වන කමල් ජානක කුමාර සිය ඉරණම විස්තර කරමින් බීබීසී සංදේශයේ ෆේස්බුක් අඩවිය ඔස්සේ කෙටි පණිවුඩයක් යොමු කොට තිබුණි.

"ශ්‍රී ලංකා රජයෙන් මේ වන තුරු මට සහනයක් ලැබිල නැහැ," යනුවෙන්ද එම පණිවුඩයේ සඳහන් විය.

මීට වසර අටකට විදේශගත වූ සිය සැමියා ඉන් වසර එක හමාරකට පමණ පසුව රැකියාවෙන් පැන ගිය බවට චෝදනා කොට සිරගත කෙරුණු බව කමල් ජානක කුමාරගේ බිරිඳ බීඒඑස් නිශාන්ති සංදේශයට කියා සිටියාය.

'සැනසීමක් නෑ'

එහෙත් ඔහු අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමේ වරදට සිරගත කෙරුණු බව විදේශ රැකියා කාර්යාංශයෙන් තමන්ට දැනුම් දුන් බවයි, ඇය පවසන්නේ.

"දැන් අවුරුදු අටක් වෙනව එයා ගිහිල්ලා. මම දරුවෝ දෙන්නෙක් එක්ක ගොඩාක් දුක් විඳිනවා. මේ වෙනකම් අපිට රජයෙන් කියල කිසිම සැනසීමක් නෑ, කිසිම දෙයක් දුන්නේ නෑ," යනුවෙන්ද බීඒඑස් නිශාන්ති සංදේශයට කියා සිටියාය.

කවර වරදකට සිරගත කරුණත් ඔහුට නියම කෙරුනේ වසර හයක සිරදඬුවමක් බව පවසන ඇය, වසර හතක් සහ මාස තුනකට වැඩි කාලයක් ගත වී තිබුණත් කිසිදු හේතුවක් නොදන්වා සිය සැමියා තවමත් බන්ධනාගාරයේ රඳවාගෙන සිටින බවද පවසන්නීය.

"මම කියන්නේ මගේ මහත්තය නිදහස් කරලා දෙන්න. දැන් නිදහස් කරන්න ඕන කාලේ පහුවෙලානේ?"

මේ පිළිබඳව කරුණු විමසීම පිණිස ජෙඩා නුවර කොන්සල් ජනරාල් ආචාර්ය උදුමා ලෙබ්බේ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

කෙසේ නමුත් ඔහුගේ දඬුවම් කාලය නිමාවී බොහෝ කලක් ගත වී තිබෙන බව පිළිගන්නා තානාපති නිලධාරීහු, ඔහු නිදහස් කරන මෙන් ඉල්ලා සිටිමින් සවුදි අරාබියේ විදේශ අමාත්‍යංශයට වරින් වර සිහි කැඳවීම් යවන බවද සංදේශය කළ විමසීමකදී පැවසූහ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර