මාතලේ හිස් කබල් තුල යකඩ ඇණ - අධිකරණ වෛද්‍ය වාර්තා

Image copyright AFP

මාතලේ සමුහ මිනිවලේ තිබී සොයාගත් ඇටකටු වලට සම්බන්ධ පුද්ගලයන් මරණයට පත්වීමට පෙර දරුණු වධහිංසා වලට ලක්ව ඇති බව අනාවරණය වෙයි.

අදාළ ඇටකටු පරික්ෂාවට ලක් කළ කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා විසින් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි අතුරුදන් වුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදි සුනිල් වටගල සංදේශයට කියා සිටියේ.

යකඩ ඇණ

“ මාතලේ සමුහ මිනිවලේ තිබී පුද්ගලයින් 153 දෙනෙකුගේ ඇටසැකිලි සොයාගත්තා. ඉන් ඇති බහුතරයකගේ හිස් කබල් තුල යකඩ ඇණ තිබී හමුවී තිබෙනවා. ඒ වගේම ඇගිලි තුඩු උල් ආයුධවලින් ඇන තුවාල සිදුකර තිබෙන බවද අනාවරණය වුනා. ඊට අමතරව ශරීරයේ ඇතැම් කොටස් තුලට උල් ආයුධ ඇතුල් කොට ඇති බවටද අධිකරණ වෛද්‍ය වාර්තා මගින් අනාවරණය කර තිබෙනවා,” නීතිවේදී සුනිල් වටගල පැවසුවේය.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ලකිරීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

අදාළ මිනිවලෙන් සොයාගත් ඇටකටු අයත් වන කාල සීමාව නිර්ණය කිරීම සඳහා ඒවා ඇමරිකානු රසායනාගාරයක් වෙත යවා පරික්ෂා කර වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට අවසර දී තිබේ.

මිනීමැරුම් චෝදනා

එම පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව මිනීමැරුම් චෝදනා යටතේ නඩු විභාගයක් ඇරඹීමට ඇති හැකියාව සොයා බලන බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කොට ඇතැයිද අතුරුදන් වුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී සුනිල් වටගල වැඩිදුරටත් කියා සිටියේය.

මාතලේ රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා කැණීම් කිරීමේදීයි මිනිස් හිස්කබල්153 සහ ඇටකටු සොයාගනු ලැබුවේ.

ඒවා පසුගිය 1988 – 89 භීෂණ සමයේදී අතුරුදන් වුවන්ගේ බවට සැකකරන ඔවුන්ගේ ඥාතීන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනමෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර