ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජනපති මහින්දගේ ආරාධනය මෝඩි 'පිළිගනී'

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ආරාධනාවට ඉන්දියාවේ නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි යහපත් ප්‍රතිචාරයක් දැක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සාර්ක් කලාපයේ අනික් රටවල නායකයින් ද සිය රටවල සංචාරයක යෙදෙන මෙන් නරේන්ද්‍ර මෝඩිට ආරාධනා කොට ඇති බව ඉන්දීය විදේශීය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සුජාතා සිං මාධ්‍ය අමතමින් සඳහන් කළා ය.

දිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී අඟහරුවාදා මුණ ගැසුණු මහින්ද රාජපක්ෂ සහ නරේන්ද්‍ර මෝඩි දෙරටේ ධීවර ගැට‍ළු හා දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳ ව විශේෂයෙන් සාකච්ඡා කළ බව සුජාතා සිං පැවසුවාය.

"දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතා ඉක්මනින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ එයින් ඔබ්බට යාම ජාතීන් අතර සංහිඳියාව සඳහා වූ ක්‍රියාදාමයට දායක වනු ඇති," බව ඉන්දීය අගමැතිවරයා ජනාධිපති රාජපක්ෂට පෙන්වා දුන් බව ඇය සඳහන් කළාය.

මේ අතර නරේන්ද්‍ර මෝඩි ලබන අගෝස්තු, සැප්තැම්බර් කාලය තුල ලංකාවේ සංචාරයක නිරත වනු ඇතැයි නිලධාරීන් බලාපොරොත්තු වන බව ඉන්දියාවේ දිනමණි පුවත්පතේ දිල්ලි කාර්යාලයේ ප්‍රධානි භරණි දරන් සංදේශයට ප්‍රකාශ කළේය.

නායකයන් දෙදෙනා අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත විෂයයන් පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කර ගත් බවයි, ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සාක් ව්‍යාපෘතීන්ගේ සාර්ථකත්වයට ඉන්දියාවේ නායකත්වය තීරණාත්මක බව පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සාක් ක්‍රියාකාරිත්වය ඉදිරියට ගෙන යාමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව පැවසූ බවද නිවේදනයේ දැක්වේ.