ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වීදි වඩිති

ආණ්ඩුව විශ්ව විද්‍යාලවල සිටින සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ මර්දනය කිරීමට කටයුතු කරන්නේ රට තුළ වර්තමානයේ සිදු වන අසාධාරණයට එරෙහිව ඔවුන් නැගී සිටීම වැළැක්වීමට බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය පවසයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ තම්පිටියේ සුගත හිමියන් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ක්‍රියාත්මක වන ශිෂ්‍ය මර්දනය වහා නවත්වන ලෙස ඉල්ලා එම සංවිධානය කළ විරෝධතාවකදී.

කොටුව දුම්රිය පොළ අසලින් ආරම්භ වුන විරෝධතා පා ගමන අවසන් වුයේ වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා ගොඩනැගිල්ල ඉදිරිපිටින්.

ඉන් පසු මාර්ගයේ එක මං තීරුවක බිම හිඳ භික්ෂූන් වහන්සේලා විරෝධතාවේ යෙදුණු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ නිලධාරීන් සමග සාකච්ඡාවකට කළ ආරාධනය ඔවුන් ප්‍රතික්‍ෂේප කළේ එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ඉඩ ලබා නොදීම හේතුවෙන්.

පන්ති තහනම්

තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සදහා විශ්ව විද්‍යාලවල සිටින භික්ෂූන් වහන්සේලාගේ පන්ති තහනම් කිරීමට හා ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට බලධාරීන් කටයුතු කරන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ තම්පිටියේ සුගත හිමියන් මෙහිදී මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ.

රටේ පීඩිත ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව කටයුතු නොකළ හොත් ඉදිරියේදී වර්තමාන ආණ්ඩුව පෙරලීමේ සටනටද අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය එක් වන බව එහි කැදවුම්කරු තැන්නේ ඤානානන්ද හිමියෝ පවසති.

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ මෙම විරෝධතාව පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් අදහස් විමසීමට සංදේශය ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර එහි ප්‍රේක්ෂකයෙකු මෙම උද්ඝෝෂණය හැදින්වුයේ විපක්ෂයේ දේශපාලන පක්ෂයක් විසින් මෙහෙයවන ලද විරෝධතාවක් හැටියටයි.