ස්විට්සර්ලන්තය පිටුවහල් කිරීම යළි අරඹයි?

Image copyright Reuters
Image caption ස්විට්සර්ලන්තයේ සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහි උද්ඝෝෂණයක්

දේශපාලන රැකවරණ පතමින් ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන අයදුම්පත් අධීක්ෂණය යළි ආරම්භ කළ බව ස්විට්සර්ලන්ත බලධාරීහු තහවුරු කළහ.

පිටුවහල් කෙරුණ දෙමළ ජාතිකයන් දෙදෙනකු ශ්‍රී ලංකාවේදී අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැන නැගුන උද්ඝෝෂණ හමුවේ දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කෙරුණු ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් තාවකාලිකව නතර කරනු ලැබ තිබිණ.

ඔවුන්ගේ ඉල්ලුම්පත් වෙන වෙනම අධීක්ෂණයට භාජනය කිරීම යළි ආරම්භ කෙරුණු නමුත් අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරුණු ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් වහාම පිටුවහල් කෙරෙනු ඇති බවක් එයින් අදහස් නොවන බව ස්විට්සර්ලන්තයේ සංක්‍රමණික කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා සෙලින් කොල්ප්රාත් අවධාරණය කළාය.

"ශ්‍රී ලංකාවේ පවතින වත්මන් වාතාවරණය පිළිබඳව හොඳින් දැනුවත් සහ අවධානය පළ වී තිබෙන බැවින්," පිටුවහල් කිරීමක් ඉක්මනින් ආරම්භ වනු ඇතැයි සිතිය නොහැකි බවද ඇය සංදේශයට කියා සිටියාය.

'පරස්පරයි'

දේශපාලන රැකවරණ පැතු ශ්‍රී ලාංකිකයන් දෙදහසක් පමණ ස්විට්සර්ලන්තයේ වෙසෙන බව විශ්වාස කෙරේ. එයින් අති බහුතරය දෙමළ ජාතිකයන්.

ඒ අතරින් 1800 දෙනකුගේ අයදුම්පත් සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවද සෙලින් කොල්ප්රාත් සංදේශයට කියා සිටියාය.

විශේෂයෙන්ම එක් අතකින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය දැඩි විවේචනයට ලක් කරන ස්විට්සර්ලන්ත බලධාරීන් දේශපාලන රැකවරණ පැතුවන් පිටුවහල් කිරීමට තුඩු දෙන ක්‍රියාදාමයක් යලි ආරම්භ කිරීම හාත්පසින්ම එකිනෙකට පරස්පර ක්‍රියාදාමයක් බවයි, ජිනීවා නුවර වෙසෙන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය අපි නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් සිටිමු. යළිත් ශ්‍රීලංකාවට පිටත් කෙරෙන දෙමළ ජනතාව සාමාන්‍යයෙන් අනතුරකට මුහුණ දෙන බවට සාධක නැති," බවයි, ඒ පිළිබඳව කළ විමසීමකදී සෙලින් කොල්ප්රාත් කියා සිටියේ.

කෙසේ නමුත් සංක්‍රමණිකයන්ට එරෙහිව රට තුල මතුවෙමින් පවතින උද්ඝෝෂණ හමුවේ මෙවැනි ක්‍රියාදාමයකට එළඹීමට බලධාරීන්ට සිදුවී තිබෙන බවද ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර