ආණ්ඩුවෙන් එජාපයට මල් මාලා

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කණ්ඩායමක් අද,බ්‍රහස්පතින්දා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ ගල් අඟුරු බලාගාරය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූ අතර ඔවුන් එහි දී මහත් හරසරින් පිළිගනු ලැබුණි.

එම පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය දා හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ ඔවුන් එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිවරයකු ඇතුළු කණ්ඩායමක ප්‍රහාරයකට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කරනු ලැබ ඇත.

නොරොච්චෝලෙයිහි දී එක්සත් ජාතික පක්ෂය ඊට වෙනස් අත්දැකීමකට මුහුණ දුන් අතර පොල් සංවර්ධන නියෝජ්‍ය ඇමති වික්ටර් ඇන්තනි සහ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් විසින් ඔවුන් මල් මාලා පළඳවමිනුයි, පිළිගන්නා ලද්දේ.

මල් මාලා

මෙය සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දෙවැනි නිරීක්ෂණ චාරිකාව බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නොරොච්චෝලෙයි ‘ලක් විජය’ගල් අඟුරු බලාගාරය ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් අතර මුල් තැනක් හිමි කර ගන්නා බවයි සඳහන් කළේ.

“චීනයෙන් ලබා ගන්නා ඇමෙරිකානු ඩොලර් කෝටි 150 ක් පමණ මෙම ව්‍යාපෘතියට වැය කරනවා. අදියර තුනකින් සමන්විත මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු විසි වතාවකට අධික වාරයක් ඇනහිටියා. මීට සම්බන්ධ ප්‍රශ්න මාධ්‍යය මගින් පමණක් නොවෙයි, පාර්ලිමේන්තුවේත් සාකච්ඡා වුනා. එහි සත්‍යය විපරම් කිරීමටයි අපි මේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වෙන්නේ.” පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා බීබීසී සංදේශයේ ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න සමඟ කියා සිටියේය.

විශේෂ රැකවරණ

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නොරොච්චෝලෙයි බලාගාරයේ නිලධාරීන්ට සවන් දෙමින් ප්‍රශ්න විචාරමින් එහි අඩුපාඩු ගැන අවධානය යොමු කළ බවයි, ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න බීබීසියට කියා සිටියේ, තමන් දැන සිටි දේ වලට වඩා සමහර දේවල් ගැන වැඩිමනත් තොරතුරු ලබාගත් බවයි.

“සමහර දේවල් පැහැදිලියි. සමහර දේවල් අපැහැදිලියි. සමහර දේවල් ගැන ඇසුවත් ඔබට පිළිතුරු දීම නොහැකි බවත් පැහැදිලියි.”මන්ත්‍රීවරයා නිලධාරීන් ඉදිරියේ කියා සිටියේය.

එම තත්වය විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් පමණක් නොව රටේ ජාතික ප්‍රශ්නයක් හැටියටයි, එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා විසින් විග්‍රහ කරන ලද්දේ.

මෙම සංචාරයේ විශේෂත්වයක් වුණේ, නොරොච්චෝලෙයි විදුලි බලාගාරයේ නිලධාරීන් පමණක් නොව කල්පිටිය පොලිසිය විසින් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විශේෂ ආරක්ෂාවක් සැලසීමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර