ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුර දකුණ යා කරන සංගීත පාඩම

උතුරේ දමිළ ළමුන් සහ දකුණේ සිංහල ළමුන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ අදහසින් දියත් කෙරුණ සංගීත වැඩ සටහනක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

උතුරේ ජනයා පිළිබඳ විශාල බයක් හා සැකයක් තම සිත් තුළ තිබුනත්, ඔවුන් හා සම්බන්ධ වීම තුළින් ‘ඔවුනුත් අපේ ම ජනතාව’ ලෙස අවබෝධ වූ බව කුරුණෑගල ප්‍රියදර්ශන අතපත්තු මෙම සංගීත වැඩ සටහන පිලිබද ව දහස් දක්වමින් ප්‍රකාශ කළේය.

‘ද මියුසික් ප්‍රොජෙක්ට්’ (The music project) සභාපතිනි ශලනි වික්‍රමසිංහ සංදේශයට ප්‍රකාශ කළේ උතුරේ හා දකුණේ දරුවන්ගේ සිත් එකට යා කිරීමේ ප්‍රධාන අරමුණ ඇති ව මීට වසර තුනකට පෙර ආරම්භ කරන ලද ‘The music project’ මගින් දමිළ සහ සිංහල ළමුන්ට සංගීතය ඉගැන්වීම සිදු කරන අතර මේ වන විට මුලතිව් හා කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

මුලතිව් සිට පැමිණි සංගව් නමැති දමිළ දැරිය සිංහල අකුරු ගළපමින් තම මිතුරියන් සමඟ කතා කළ අතර ඇය සංදේශයට කියා සිටියේ තමන්ට ලැබුණ මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා බවයි.

මේ වන විට කුරුණෑගල දරු දැරියන් උතුරේ ද සංචාරය කර ඇති අතර කුරුණෑගල සන්තුෂ් සදාහරිත ප්‍රකාශ කළේ තම මිත්‍රත්වය ලිපි හුවමාරු ව දක්වා වර්ධනය වී ඇති බවයි.

‘අපට සියලු ම ළමුන් එකයි. මුලතිව් ළමයිනුත් කුරුණෑගල ළමයිනුත් අපිට වෙනසක් නැහැ. සංගීතය තුළින් මනස නිරවුල් කර ගනිමින් සියලු ම ළමුන්ගේ සිත් එක් කිරීමට අපට හැකි වෙලා තිබෙනවා’ සංගීත ගුරුවරයෙකු වන ලක්ෂිත ෂෙහාන් මෙලෙස කියා සිටියේ ‘The music project’ ආයතනයේ වර්ධනය සම්බන්ධයෙන් තම අදහස් පළ කරමිනි.