ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'අධ්‍යාපනයට වෙන් කළ මුදල් අඩු කිරීමට ඉල්ලා නැහැ'

Image copyright Reuters
Image caption ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ටොඩ් ශ්නයිඩර්

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන අඩු කරන ලෙසට රජයට නිර්දේශ කර නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන මුදල් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බවට ඉකුත් දා මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ චෝදනා කර තිබුණි.

නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ටොඩ් ශ්නයිඩර් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සාකච්ඡා කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයත් කාරණයක් නොවන බවයි.

අපේක්‍ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි ආර්ථික වර්ධනයක් 2013 වසරේදී ශ්‍රී ලංකාව අත් කර ගෙන ඇති බවද නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටොඩ් ශ්නයිඩර් තවදුරටත් කියා සිටියේය.

හොඳ ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකාවේ යහපත් වාතාවරණයක් පවතින නමුත් ආයෝජන සඳහා බදු සහන ලබා දීමේ දී රජයට අහිමි වන ආදායම් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට ඔහු අනතුරු අඟවා සිටියේය.

මේ වසර තුළ දී සියයට හතක ආර්ථික වර්ධනයක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ටොඩ් ශ්නයිඩර් අනාවැකි පළ කළේය.

එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇස්තමේන්තුවට වඩා මදක් අඩු අගයකි.