‘ඡන්දය ඔබේ අයිතියයි’

Image caption නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා සභාව අමතයි.

උනන්දුවක් නැතිකම අධ්‍යාපන තත්ත්වය පහළ මට්ටමක පැවතීම සහ වතු පාලනාධිකාරියේ අනුමැතිය නොලැබීම වතුකරයේ දෙමළ ජනතාවගෙන් වැඩි දෙනෙකුට ඔවුන්ගේ ඡන්දය අහිමි වීමට හේතු වී ඇති බව රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා පෙන්වා දෙයි.

වතුකරයේ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උනන්දු වන දේශපාලන පක්ෂ වතු ජනතා ඡන්ද ලියා පදිංචි කරන කාල වකවානුවල ඡන්ද හිමි නාමලේඛන සැකසීමේදී ග්‍රාම නිලධාරීන්ට සහාය නොදෙන නිසා සියලුම දේශපාලන පක්ෂ ඊට වගකිවයුතු බවත් ඔහු පවසයි.

දේශපාලන වගකීම

ඡන්ද හිමි නම ලේඛන ප්‍රතිශෝධන කරන කාලයේදී ග්‍රාම නිලධාරීන් සමග ගෙන්ගෙට යාමට දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද අවස්ථාව සලසා ඇතත් ඔවුන් ඉන් ප්‍රයෝජන නොගෙන මැතිවරණයක් පවතින මොහොතක ග්‍රාම නිලධාරීන් විසින් ඡන්දය ලියා පදිංචි කර නැතැයි චෝදනා කිරීම සාධාරණ නැතැයි ද රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ජුනි මස පළමු වෙනිදාට යෙදෙන ‘ඡන්ද හිමියන්ගේ දිනය’ සහ ‘ඡන්දය ඔබේ අයිතියයි’ යන තේමාව යටතේ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීමට මැයි මස තිස් වෙනි දින රත්නපුරේදී පැවති සම්මන්ත්‍රණයකදීයි, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා එම අදහස් පළ කළේ.

මියගිය අයත් ඡන්ද ලේඛනයේ

“ඡන්ද හිමි නම ලේඛන ප්‍රතිශෝධන කරන්න නියෝජිතයන් එවන්න කියල දේශපාලන පක්ෂවලට දැනුම් දුන් විට අවුරුදු තුන හතරකට පෙර මැරිච්ච අයත් නම් කරලා එවනවා. සමහර නම් කරන අය ඒ පක්ෂයෙන් වෙන පක්ෂයකට ගිය අයයි” නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් නොව විවිධ පෞද්ගලික අරමුණු මත පිහිටා ඡන්ද හිමි නම ලේඛනවල ලියාපදිංචි වීමේ ප්‍රවණතාවක් ද පෙනෙන්නට ඇති බවයි ඔහු කියා සිටියේ.

“ඇතැමුන් තම ළමයින් හොඳ පාසලකට ඇතුළත් කර ගැනීමේ අරමුණින් ජනප්‍රිය පාසලක් ආසනයේ ඡන්ද හිමි නම ලේඛනයට නම දා ගන්නවා. එහෙමත් නැත්නම් ඉඩම් නඩුවකට, නැත්නම් වෙනත් මොනව හරි අත්පත් කර ගන්න වගේ පෞද්ගලික උවමනා සඳහා තමන්ට අවශ්‍ය තැනක ඡන්ද හිමි නම ලේඛනයේ නම දාගන්නවා’’ එම්.ඒ.පී.සී.පෙරේරා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

නමුත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ අරමුණ සුදුසුකම් ලැබූ හැම පුරවැසියෙකුටම තමන් කැමති පාලකයෙක් පත් කර ගැනීමට පරමාධිපත්‍ය බලය හිමි කර දීම බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර