ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රිකට් ගිවිසුම සකස් කිරීම ජනපති පුතුගේ සමාගමට

ඉදිරි වසර හය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ රූපවාහිනී විකාශන අයිතිය ඉන්දියාවේ ටාජ් ටෙලිවිෂන් සමාගමට ප්‍රදානය කිරීමේ ගිවිසුම සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නීති උපදේශක සමාගමට රුපියල් තිස් තුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙවා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග බීබීසී සංදේශයට පැවසීය.

ගවර්ස් ඉන්ටර්නැෂනල් (එන්ආර් ඇසෝසියේට්ස්) නීතිඥ සමාගමට එම මුදල ගෙවන මෙන් මේ වසරේ පෙබරවාරි 17 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට නිර්දේශ කොට තිබෙන්නේ එහි ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සහ ප්‍රචාරක අංශයේ ප්‍රධානී වජිර දිසානායක විසින්.

Image copyright Namal Rajapaksa

මෙම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් කළේද යන්න පැහැදිලි නැත.

එන්ආර් ඇසෝසියේට්ස් නීති උපදේශක සමාගමට එම කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඔහු ජනපති පුත්‍රයා වීම හේතුවෙන්ද යන්න ඇතුළු ප්‍රශ්න ගණනාවක් මතුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන්ට මැයි 05 වැනි දින සංදේශය යොමු කළ ඊමේල් පණිවුඩයට මේ දක්වා පිළිතුරු ලැබී නොමැත.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙයට වඩා අඩු මුදලකට එම සේවය සපයන නීති උපදේශක ආයතන පිළිබඳව සොයා බැලුවේද යන ප්‍රශ්නයද නිශාන්ත රණතුංග, ඈෂ්ලි ද සිල්වා සහ රජිත් ප්‍රනාන්දු වෙත යොමු කෙරුණු එම ඊමේල් පණිවුඩයට ඇතුලත් විය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇමතීමට සංදේශය දැරූ උත්සාහයද සාර්ථක නොවීය.

ගිවිසුම සකස් කිරීම ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නීතිඥ සමාගමට ලබාදීමේදී දූෂණයක් සිදු වී ඇති බවට සැක පහල වන බව දූෂණ විරෝධී ක්‍රියාධරයෝ පවසති.

සංශෝධන සහිත ගිවිසුම

ටාජ් ටෙලිවිෂන් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මීට ඉහතදී වසර දහයක ගිවිසුමකට අත්සන් තබා තිබුණි.

එම ගිවිසුමට අදාළ කෙටුම්පත යලි සකස් කිරීම වෙනුවෙනුයි, ගවර්ස් ඉන්ටර්නැෂනල් (එන්ආර් ඇසෝසියේට්ස්) නීති උපදේශක සමාගමට රුපියල් තිස් තුන් ලක්ෂ හැට දහසක මුදලක් ගෙවා තිබෙන්නේ.

Image caption අදාළ මුදල ගෙවන මෙන් විධායක කමිටුවට යොමු කෙරුණු නිර්දේශය

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බැවින්, මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්තාවක කොන්ත්‍රාත්තුව සකස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතරම් මුදලක් ගෙවීම සාධාරණද යන පැනය සංදේශය ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ට යොමු කළේය.

කොන්ත්‍රාත්තුවට අදාළ මුදලෙන් ප්‍රතිශතයක් අය කිරීම මෙවැනි අවස්තාවක සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමය බැවින් ඒ පිළිබඳව මතයක් පළ කිරීම දුෂ්කර බව දූෂණ විරෝධී ක්‍රියාධරයන් වන නීතිවේදී ක්‍රිශාන්ත වැලිඅමුණ සහ චන්ද්‍රපාල කුමාරගේ සංදේශයට පැවසූහ.

ආයතනයේ රහසිගත ගනු දෙනු සම්බන්ධයෙන් කිසිවක් පැවසිය නොහැකි බවයි, ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

2020 දක්වා රුපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් ටාජ් ටෙලිවිෂන් සමාගම ඩොලර් කෝටි හයකට වැඩි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එහෙත් එය සනාත කර ගැනීමට බීබීසී යට හැකියාවක් නොලැබිණ.

ජනපති පුතුට 'විශේෂයක්'?

නීතිඥයකු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සිය සේවාවන් වෙනුවෙන් ගාස්තුවක් අය කිරීමට සම්පූර්ණ අයිතිය තිබෙන නමුත්, එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට හේතුව ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතනුවන් වීම නම් එහිදී පැහැදිලිවම එහි දූෂණයක් සිදු වී තිබෙන්නේද යන්න පිළිබඳව සැක පහල වන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ සංදේශය කළ විමසීමකදී සඳහන් කළේය.

මේ පිළිබඳව සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් එකම ශ්‍රී ලංකා බලධාරියා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පමණයි.

නීති උපදේශක සමාගමකට විශාල මුදලක් ගෙවීම හෝ එම ගනුදෙනුවේදී දූෂණයක් සිදු වී ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ නම් පරීක්ෂා කිරීමට සූදානම් බව අමාත්‍යවරයා සංදේශයට පැවසීය.

කෙසේ නමුත් සංදේශය දැනටමත් එම ප්‍රශ්නය මතුකොට තිබෙන බැවින් අදාළ චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අමාත්‍යවරයා පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටීමේ අවශ්‍යතාවයක් නැති බව නීතිවේදී කුමාරගේ අවධාරණය කරයි.