ධීවර ප්‍රශ්නයට මැදිහත් වෙන්න - ජයලලිතා මෝදිට ලියයි

Image copyright AP
Image caption 'පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව කම්පනයට පත්වී සිටිති'

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයන් 'පැහැරගැනීම සහ අත් අඩංගුවට ගැනීම' යළි ආරම්භ කරනු ලැබ ඇති බවට මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා ඉන්දීය අගමැතිවරයාට පැමිණිලි කොට තිබේ.

දින හතලිස් පහක් මුලුල්ලේ තහනම් කරනු ලැබ තිබුන ධීවර කර්මාන්තයේ යෙදීම ඉරිදා යලි ආරම්භ කරනු ලැබූ අවස්ථාවේදීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයන් තිස්තුන් දෙනකු සහ ඔවුන්ගේ බෝට්ටු හතක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කෝපය පළ කරමිනුයි, මහ ඇමතිවරිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සිය ලිපිය යොමු කොට තිබෙන්නේ.

"පැහැරගැනීම් සහ අත් අඩංගුවට ගැනීම් මෙසේ යලි ආරම්භ කරනු ලැබීම පිළිබඳව තමිල්නාඩුවේ ධීවර ප්‍රජාව මහත් කම්පනයට පත්වී සිටින," බවද ලිපියේ සඳහන්.

'ඓතිහාසික අයිතියක්'

පෝක් සමුද්‍ර සන්ධියේ සිය ජීවිකාවේ නිරතවීමට තමිල්නාඩු ධීවරයන්ට ඓතිහාසික අයිතියක් තිබෙන බව පවසන මහ ඇමතිනී ජයලලිතා, ශ්‍රී ලංකා බලධාරීන් එම අයිතියට බාධා කිරීම සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමණය කළ බවට අගමැති මන්මෝහන් සිංගේ පරිපාලනයට චෝදනා කරයි.

එබැවින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යලිත් වරක් තමිල්නාඩු ධීවරයන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරයක් පළ කරන මෙන් මහ ඇමතිවරිය අගමැති මෝදිගෙන් ඉල්ලීමක් කරයි.

තමිල්නාඩු ධීවරයන්ගේ මෙම 'ඉතා සංවේදී ප්‍රශ්නය' විසඳීම පිණිස තීරණාත්මක පියවර ගැනීමට ඉන්දියාවේ අලුත් ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි යන්න තමිල්නාඩු වැසියන්ගේ බලාපොරොත්තුව බවත් ලිපියේ සඳහන්.

එමෙන්ම ඉරිදා අත් අඩංගුවට ගැනුණු ධීවරයන් ඉතා ඉක්මනින්ම නිදහස් කරගැනීමට මැදිහත් වන මෙන් විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසද මහ ඇමතිවරිය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

'29 දෙනෙක් පමණයි'

එහෙත් තලෙයිමන්නාරමට උතුරු මුහුදේදී අත් අඩංගුවට ගනු ලැබුවේ ඉන්දීය ධාවරයන් 29 දෙනකු සහ යාත්‍රා හයක් පමණක් බවයි, ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

එසේ අත් අඩංගුවට ගනු ලැබුන ඕනෑම ධීවරයකු පිළිබඳව පරීක්ෂා කිරීම ධීවර අමාත්‍යාංශය විසින් පත් කරනු ලැබ තිබෙන ධීවර පරීක්ෂකයන්ගේ කාර්යයක් බවද කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අනතුරට ලක්වී ඇති ඉන්දීය ධීවරයන් සිවු දෙනකු රැගත් තවත් බෝට්ටුවක්ද නාවික හමුදාව විසින් මන්නාරමට ගෙනවිත් තිබෙන බව වාර්තා වී ඇති බවයි, වවුනියාවේ සිට දිනසේන රතුගමගේ වාර්තා කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර